Ravi Jayawickrama Arachchige

Ravi Jayawickrama Arachchige

Monday, 21 February 2022 09:35

බෝල පාස් කිරීම

Monday, 21 February 2022 09:31

බාලගිරි පරීක්ෂණ

22 01 26 154142
සංවර්ධනය පිළිබඳ ආණ්ඩු මට්ටමින් ගන්නා ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමේදී ඇඟ කිලිපොලා යන සිද්ධි ඇතිවීම සම්බන්ධයෙන් අපේ රට නම් දරා සිටී. රටේ යහපතට අනාගත දියුණුවට අවශ්‍යම වන සැලසුම්ගතව ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන්වලට උදැල්ල දමන පිරිස් නිසා එවැනි අවස්ථා උදාවෙයි. සංවර්ධනයේදී සාපරාධී අපරාධ ගණයට වුවද දැමිය හැකි එවැනි අවස්ථා අතරින් එකක් පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් වී තිබිණි.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා නිවෙස්වලට සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියට දක්වන කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් මතු වී ඇති තත්ත්වය එසේ හෙළිදරව් කරනු ලැබුවේ සූර්ය බල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසිනි. එකී ව්‍යාපෘතියට අනුව නිවෙස්වල පියසි මත සූර්ය පැනල සවිකර දැනට වසර එකහමාරක් පමණ ගතවී ඇතත් ඒ සඳහා විදුලි සබඳතා මෙතෙක් ලබාදී නැත. මෙය වහාම සොයා බැලිය යුතු ජාතික අපරාධයක් වශයෙන් සලකා ඉදිරි පියවර ගතයුතුය. මෙවැනි ව්‍යාපෘතිවලට බාධා පමුණුවන පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ කවුදැයි හෙළිකර ඔවුන්ගේ දුෂ්ට චේතනා හේතුවෙන් පුනර්ජනනීය බලශක්තියට අයත් වන ඉරණම රට හමුවට ගෙන ඒමට බලධාරීන්ගේ වගකීම බවද සඳහන් කරමු.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය පිහිටුවා පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළට දැන් වසර 15ක් ගත වී අවසානය. එහෙත් මේ ව්‍යාපෘතියට විවිධ බාධා එල්ල වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමට බාධා වන අයුරින් පනවා තිබූ රෙගුලාසි, අණපනත් සහ ක්‍රමවේද පවා වෙනස් කරමින් එම ව්‍යාපෘති ඉක්මන් කිරීමට පියවර ගත් බවය. එහෙත් කොතැනක හෝ රැඳී සිටින බහිරවයන් රැලක් මේ ව්‍යාපෘතිය කාබාසිනියා කර දැමීමට කටයුතු කරමින් සිටිති. ඔවුන්ගේ යටි අරමුණු මේ ව්‍යාපෘති කඩාකප්පල් කිරීම හරහා රටේ විදුලිබල අවශ්‍යතාව මෙරට සිටින පෞද්ගලික බලාගාර අයිතිකාර මාෆියාවේ වහලු‍න් බවට පත්කර ගැනීම බව පැහැදිලිය. එවිට විදුලිබලයට සම්බන්ධ ඇතැම් බලවතුන්ගේ කල්ල මරේය. පාරිභෝගිකයා සදාකල් අඳුරේය.

මේ ව්‍යාපෘතිවලට ඇති නීතිමය බාධා ඉවත් කර දැමීමට විදුලිබල පනතට අදාළව ඉදිරිපත් කර ඇති සංශෝධනයට තවම අනුමැතිය ලබාදී නැතැයිද සඳහන් වෙයි. 2013 වසරේදී ඉදිරිපත් කළ මේ සංශෝධනයට අනුමැතිය ලබාදීම මේ දක්වා ප්‍රමාදවීම යට ඇත්තේ විශාල අභිරහසක් නොවේ. එය වළක්වන බලවත් හස්ත කිහිපයක් හේතුවෙන් ප්‍රමාදය සිදුව තිබෙන බව තේරුම් ගැනීම දුෂ්කර නැත. එහෙත් ඉන්පසුව මේ දක්වා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද ඇතුළු සියලු‍ ආණ්ඩු මේ ප්‍රමාදයට වගකිවයුතුය. එහි වැරැද්ද නීතිපති දෙපාර්තමේන්තුවට පවරා අත සෝදා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැත.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂයකගේ පමණ නිවෙස්වල සූර්ය පැනල සවිකරන අදාළ ව්‍යාපෘතිය යටතේ ලබාගත හැකි විදුලිය මෙගාවොට් 40ක් බවද සඳහන්ය. එහෙත් වසර දෙකක පමණ කාලයක් ගත වී ඇතත් තවම එම පැනලවලට සබඳතා නොදීම පිළිබඳව විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීන්දු ගැනීමට තමන් ක්‍රියාකරන බවද දුමින්ද දිසානායක රාජ්‍ය ඇමැතිවරයා කියා තිබිණි. අකාර්යක්ෂම නිලධාරීන් සහ දේශපාලනඥයන් සිටිනවා නම් ඒ අයට දඬුවම් ලබාදිය හැකි යැයි තමන් විශ්වාස කරන බවත් ඔහුගේ කතාවේ සඳහන් විය.

මේ රටේ දේශපාලනය තුළ සිදු නොවෙන්නේම එයයි. එනම් වැරදිකරුවන් කිසිදු දඬුවමක් නොලබාම නිදහස් වීමය. කොතරම් අකාර්යක්ෂම නිලධාරීන් සහ දේශපාලනඥයන් සිටියත් ඔවුන්ට ලැබෙන දඬුවමක් නැත. හැමවිටම දඬුවම් ලබන්නේ රටේ පොදු මහජනතාවය. ලයිට් කැපී අඳුරේ සිටින දඬුවම ලැබෙන්නේ ජනතාවටය. එහෙත් විදුලිබල හිඟයට පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගන්නා විට ඔය කියන අකාර්යක්ෂමතාව පමණක් නොව කාර්යක්ෂම නිලධාරීන්ගේ සහ දේශපාලනඥයන්ගේ පවා සාක්කු පිරෙන බව යථාර්ථයයි. තීන්දු ගැනීමේදී අකාර්යක්ෂම බවක් පෙන්වන ඇතැම් නිලධාරීන් මාෆියා හරහා පෞද්ගලික බලාගාරවලින් මාටියා ගැහිල්ලේදී ඉතාම කාර්යක්ෂමව කටයුතු කරන බවද අපි දනිමු.

සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන පුනර්ජනනීය බලශක්ති උත්පාදනයට මේ තරමට කැපිලි දමන්නේ එවැනි නිලධාරීන්දැයි සොයා බැලීම රජයට අයත් කාර්යයකි. සොයා බැලු‍වාට පමණක් මදිය. ඔවුන් නීතිය හමුවට පැමිණවීමද සිදුවිය යුතුය. 2019 වසරේ අගෝස්තුවේදී ගැසට් කරන ලද ජාතික බලශක්ති ප්‍රතිපත්ති සහ උපාය මාර්ගවලට අනුව වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනයෙන් 70ක් සිදුවිය යුත්තේ පුනර්ජනනීය බලශක්තියෙනි.

එම ඉලක්කය සපුරා ගැනීමට තව ඇත්තේ වසර 08ක් පමණි. මේ වනවිට සුළං සහ සූර්ය පැනල ඇසුරින් උත්පාදනය කෙරෙන්නේ සියයට 5ක බලශක්තියක් පමණි. අකාර්යක්ෂම සහ මාටියා ගහන නිලධාරීන් සහ දේශපාලනඥයන් සමඟ 2030දී සියයට 70ක ඉලක්කය සපුරාගත හැකි නම් එය ලෝකයේ ඊළඟ පුදුමය වෙන්නත් බැරි නැත.

Friday, 18 February 2022 10:06

ණයට නටන තොවිලය

 

22 01 26 154142
දවස් පහක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කෝටි 06ක වටිනාකමක් හිමිවීමේ ප්‍රවෘත්තියක් පසුගියදා පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබිණි. දවස් කිහිපයකට පත්වූ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු තමන්ට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය විකුණා ගැනීමෙන් මේ මුදල උපයාගෙන ඇතැයිද එහිදී සඳහන් විය. මේ සිද්ධිය අපගේ රටේ පවතින ක්‍රමයේ වැරැද්දක් පෙන්වා දෙන කදිම උදාහරණයක් වශයෙන් අපි දකිමු.

අපේ රටේ පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් හෝ පත්වීමට ලැබීම මහා ධනවතකු වීමට පාර කපාදෙන මාර්ගයක් බවට දෝෂාරෝපණ එල්ල වූයේ කාලයක සිටමය. සෑම මන්ත්‍රීවරයකුටම තීරුබදු රහිත වාහන බලපත්‍රයකට හිමිකම් කීමට හැකිවීමත් සමඟ මේ දෝෂාරෝපණය වඩාත් උග්‍ර විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදාගැනීමට ඉඩ සැලසීමක් වශයෙන් මෙය හැඳින්විණි. එහෙත් මේ ක්‍රමයට තිත තැබීමට කිසිදු ආණ්ඩුවක් ක්‍රියා කළේ නැත. ආණ්ඩුවක් තබා විපක්ෂයක් හෝ කිසි කලෙකත් තීරුබදු රහිත වාහන බලපත් තමන්ට එපා යැයි කියා නැත. ජවිපෙ මන්ත්‍රීවරුන් පමණක් එම බලපත්‍රය උපයෝගී කරගෙන ඩබල් කැබ් වාහන පමණක් ගෙන්වාගත් අතර ඔවුන්ගෙන් කිසිවකුත් තමන්ට හිමි වූ වාහන බලපත්‍රය විකුණාගෙන කෑ බවට චෝදනා ලබා නැති බවද මෙහිදී සඳහන් කළ යුතුය.

මන්ත්‍රීවරුන් තමන්ට හිමි වාහන බලපත්‍රයක් විකුණාගත් පළමු අවස්ථාව මෙය නොවන බව මේ චෝදනාව එල්ල කළ අමාත්‍යවරයාද නොදැන සිටීමට හේතුවක් නැත. තමන්ගේ පක්ෂයේ කෙනකු මේ වැරැද්දම කළ විට එය නොදැක්කා සේ සිටීමත් තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයකු හෝ තමන්ට දිරවා ගත නොහැකි මන්ත්‍රීවරයකු හෝ මේ වැරැද්දම කළ විට එය පෙන්වීමත් කොළේ වසා ගැහිල්ලක් බව කිව යුතුය. කවුරු කළත් වැරැද්ද වැරැද්දමය. කළ යුත්තේ එම වැරැද්ද නිවැරැදි කිරීමට සාමූහිකව ක්‍රියා කිරීම මිස එයින් දේශපාලන වාසියක් ගැනීමට කටයුතු කිරීම නොවන බවද පෙන්වා දිය යුතුය.

වාහන බලපත්‍රයක් තීරුබදු රහිතව ලබා ගැනීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ. පළාත් සභා මන්ත්‍රීවරුන්ටද මේ වරප්‍රසාදය හිමි විය. මන්ත්‍රී ධුරයක් ලැබීම මුදල් හම්බ කිරීමේ මාර්ගයක් කරගත හැකි බවට උගන්වන පළමු පාඩම එය බව බැලූ බැල්මට පෙනෙයි. බොහොමයක් මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රය කෝටි ගණනකට විකුණා ගනිමින් එම පළමු පාඩමට අත්පොත් තැබීමය. හම්බ කිරීම එතැනින් නොනවතින බව ඉතිහාසය අපට කියා දී තිබේ.

දවසකට මන්ත්‍රී ධුරයක් ලැබුවත් වාහන බලපත්‍රයක් හිමිකර ගත හැකි මේ දූෂිත ක්‍රමයට දැන්වත් තිත තැබීම අවශ්‍යය. මෙහි වැරැද්ද ඇත්තේ එය සිදුකරන පුද්ගලයා අතේ නොව මේ ක්‍රමය තුළ බව පෙන්වා දිය යුතුය. රටේ භාණ්ඩාගාරය හිස්කරන මේ නාස්තිකාර ක්‍රියා නැවැත්විය හැක්කේ එවැනි දූෂණ ක්‍රියාවලට පාර කපන ක්‍රම මුලිනුපුටා දැමීමෙන් පමණි.

තීරු බදු රහිත වාහන බලපත් හේතුවෙන් රටට වාර්ෂිකව රුපියල් කෝටි සිය ගණනක් අහිමි වෙයි. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද මේ වරප්‍රසාදය හිමි වුවද එය ඔවුන්ගෙන් රටට සිදුවන සේවය ඇගයීමට ලක්කිරීමකි. පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන්ට මෙන් නොව රජයේ සේවයේ ඉහළම නිලධාරීන්ට වුවද සංසන්දනාත්මකව ලැබෙන්නේ අඩු වැටුපකි. එසේම බෝනස් වැනි වෙනත් ආර්ථික වාසිද ලැබෙන්නේ නැත. මේ නිසා ඔවුන්ට බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම වැරැද්දක් යැයි කිව නොහැක.

එහෙත් මන්ත්‍රීවරුන් එසේ නොවේ. ඔවුන් තේරී පත්වන හැම අවස්ථාවකදීම සල්ලි හම්බ කරගත හැකි ධන උල්පත් පෑදෙයි. දූෂණයට සහ වංචාවට අතහිත දෙන සමානුපාතික ඡන්ද ක්‍රමයේ හඳුන්වාදීමත් සමඟ මේ මන්ත්‍රී ධුරයෙන් හරි හම්බ කරගැනීමේ ක්‍රමයද ආරම්භ වූ බවත් සඳහන් කළ යුතුය. මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන තත්ත්වයක් තුළ ඒ වටා බොහෝ ජාවාරම්කරුවන් දූෂිතයන් එක්රොක් වීම වැළැක්විය නොහැක. එහි ඊළඟ පියවර තම තනතුරේ බලතල භාවිත කර හැකි තරම් ධනය උපයා ගැනීමට කටයුතු කිරීමය.

හැකි තරම් මුදල් හම්බ කර ගැනීමට තමන්ට උදව් උපකාර කළ හෙංචයියන්ටද ඉඩ ලබාදීමය. මේ බඩගෝස්තරවාදී මජර ක්‍රමය තුළ වාහන බලපත්‍රය විකුණා ගැනීම එක් ජරාව කෑමක් පමණි. එසේම තමන්ගේ බදු රහිත වාහන බලපත්‍රය විකුණා කෝටි ගණනින් මුදල් හම්බ නොකළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඇත්තේ ස්වල්ප දෙනකු පමණක් බව අපගේ පිළිගැනීමය.

තීරු බදු රහිත වාහන බලපත් මන්ත්‍රීවරුන්ට ලබාදීම වැළකී ගියේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙනි. එසේ නොවන්න ආණ්ඩුවේත් විපක්ෂයේත් බොහොමයක් මන්ත්‍රීවරුන් මේ වනවිටත් කෝටිපතියන් වී හමාරය. දැන් කළ යුත්තේ මේ වැරැද්ද කළ එක් මන්ත්‍රීවරයකු උළුප්පා පෙන්වීම නොව බදු රහිත වාහන බලපත් ලබාදෙන ක්‍රමයම නවත්වා දැමීමට ක්‍රියා කිරීමය. මහජන සේවය සඳහා අවශ්‍ය හොඳ වාහන රජයේ සංචිතයකින් ලබාදීමට පියවර ගැනීමෙන් මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවද ඉටුකරගත හැකි බවත් පෙන්වා දෙමු.

Thursday, 17 February 2022 10:29

මාධ්‍ය මර්ධනය

Page 35 of 62