Wednesday, 23 October 2024

ගින්න සම්පුරණයෙන් නිවා දමයි - "ගැලවුම් කරුවන්" නැවට ඇතුල්වෙයි

Posted On Wednesday, 09 September 2020 08:11

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“ඉන්ධන නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු නෞකාවට ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවත් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, නාවික සැතපුම් දෙකක පමණ ප්‍රදේශයක එම ඉන්ධන පැල්ලම විහිදී ඇති බවය.

ඊයේ දිනයේ ද නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඩීසල් පැල්ලමක් නිරීක්ෂණය වී තිබූ අතර විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමෙන් ඉන් සාගර පරිසරයට විය හැකිව තිබූ බලපෑම අවම කිරීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කෙසේවෙතත් නිරීක්ෂණය වී ඇති මෙම ඉන්ධන පැල්ලම් ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන අතර නෞකාව යාත්‍රාකිරීමේ දී යොදාගනු ලබන ඩීසල් ඉන්ධන විය හැකි බවට වාර්තා වේ.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා කිමිදුම්කරුවන් යොදා ගනිමින් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේය.

අද අලුයම වන විට නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට ආපදා කලමනාකරණ කණ්ඩායම් සමත්ව තිබු අතර නෞකාව මේ වන විට සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් දුරින් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් තිබේ.