Saturday, 19 October 2024
Ravi Jayawickrama Arachchige

Ravi Jayawickrama Arachchige

Thursday, 17 February 2022 10:25

ඇමට හසුවීම

22 01 26 154142

පොලීසිය කවදත් සමාජයට විවාදාපන්න මාතෘකා සපයන ආයතනයකි. පොලීසිය අතින් සිදුවන හොඳ සහ නරක දෙවර්ගයම මාධ්‍යයට ප්‍රවෘත්තිය. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරයි යන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී නම් වූ බුදු වදන ආදර්ශ පාඨය කොටගෙන ක්‍රියාත්මක වන පොලීසිය සැබැවින්ම ධර්මයේ හැසිරෙන්නේද යන්න මේ වනවිට සමාජයට ප්‍රශ්නයක් වී තිබේ. ඒ අතර අපේ පොලීසිය සෙසු රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු මෙන්ම දේශපාලන හස්තයට යටත් වී තිබෙන බවට වන කදිම සාක්ෂියක් පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

මෙම කතා පුවත එළියට පැමිණියේ එම සතියේ පැවති ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ හමුවේදීය. එකී මැති - ඇමැති හමුව පැවතියේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිතුමාගේත් ආණ්ඩුවේ දෙවැනියා වන අගමැතිවරයාගේත් ප්‍රධානත්වයෙනි. එහිදී සබරගමුව පළාතේ පොලීසියකට ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු හා ඇමැතිවරියක අතර මතගැටුමක් හටගැනිණි. මෙම සංවාදයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතින් මෙන්ම ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන්ගේද මතය වූයේ පළාත්බද පොලීසිවලට ස්ථානාධිපතිවරුන් පත්කිරීමේදී පළාතේ මන්ත්‍රීවරයාගේ අභිමතය ද විමසා එකී පත්කිරීම් සිදු කළ යුතු බවයි. යථාර්ථය එය නම් තවදුරටත් මෙරට අපක්ෂපාතී ස්වාධීන පොලිස් සේවාවක් පවතී යැයි කාට නම් කිව හැකිද? 

පවත්නා වාර්තා අනුව දිවයිනේ පොලිස් ස්ථාන හාරසිය අසූ පහක් පමණ ක්‍රියාත්මකය. ඇතැම් මන්ත්‍රී කොට්ඨාසවල පොලිස් ස්ථාන තුන හතරක් පවතී. පසුගිය කාලයේ අපට අසන්නට දකින්නට ලැබුණු සමහර සිදුවීම්වලදී ජනතාව පොලීසිවල ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වීමද කැපීපෙනුණි. අනෙක් ආයතනවල මෙන්ම පොලීසියේද විනය පිරිහී තිබෙන බවට වන සාක්ෂි විටින් විට මාධ්‍ය මගින් වාර්තා විය.

නෑම ආයතනයකට ස්වයං ගරුත්වයක් සහ විනයක් තිබිය යුතුය. විනයක් නැති ආයතනයකට පැවැත්මක්ද නැත. පළාතේ දේශපාලන බලවතාගේ කැමැත්ත සහ ආශීර්වාදය මත පත්කෙරෙන පොලිස් ස්ථානාධිපතිවරයකුගෙන් යුක්තිය, සාධාරණය හා විනය අපේක්ෂා කළ හැකිද යන්න ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් කල්පනා කළ යුතුය. 

මේ කරුණ සනාථ කරන්නට අපට ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කරන්නටද පුළුවන. මේ දිනවල කුඩු පුරයක් බවට පත්ව ඇති, කේරල ගංජා වැනි මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේද කේන්ද්‍රස්ථානයක් වන දකුණු පළාතේ වෙරළබඩ සංචාරක පුරවරයක්ද වන නගරයක පොලිස් ස්ථානාධිපතිවරයා පත්වූයේ පළාතේ දේශපාලන බලධරයාගේ බලවත් නිර්දේශය බවට චෝදනා එල්ලවිය. ඔහු ගැන මාධ්‍යයෙන් එල්ල වූ චෝදනා මෙන්ම පොලිස් මූලස්ථානයට ලැබෙන පැමිණිලිද කෙළවරක් නැත. එහෙත් පොලීසියේ පරිපාලකයන්ට මොහුට ස්ථාන මාරුවක් හෝ දීමට බලයක් නැත්තේ යට කී දේශපාලන බලධරයා ආණ්ඩුවේ බලවතකු නිසා බව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති කතාවකි.

මෙම සටහන සඳහා තොරතුරු සම්පාදනය කර ගැනීම පිණිස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සමඟ අප කළ කතාබහකදී අනාවරණය වූයේ නීති පොතක වගන්ති නිසියාකාරව කියවාගන්නට පවා නොහැකි විධිමත් ලෙස නීතිමය ලේඛනයක් හෝ පැමිණිල්ලක් ගොනුකර ගන්නට නොදන්නා පොලිස් ස්ථානාධිපතිවරුන් රාශියක් දේශපාලන නිර්දේශ මත පත්ව සිටින බවයි. මොවුන් මෙලෙස පත්වීම් ලැබූ පසු සේවය කරන්නේ පොලීසියට නොව ඔහු පත් කළ දේශපාලනඥයාටය. එබඳු දේශපාලන ගැත්තන් කරන විනය විරෝධී කටයුතු ගැන පළාතේ උසස් පොලිස් නිලධාරීහු පවා මුනිවත රකිති. ඊට හේතුව දේශපාලන ගැත්තකුට එරෙහිව පියවර ගන්නට යාම තමන්ගේ වෘත්තීය සෞඛ්‍යයට හොඳ නැති නිසාය. 

තත්ත්වය එසේ තිබියදී ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මැති ඇමැතිවරුද තම කොට්ඨාසයන්හි පොලිස් ස්ථානවලට තමන්ට අභිමත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කරන්නට සටන් කිරීම පුදුමයට කරුණකි. පොලීසිය සම්බන්ධ පත්කිරීම් කිරීමට රාජ්‍ය සේවා කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිවරයා ප්‍රමුඛ පරිපාලන බලධරයෝ සිටිති.

එසේ සිටියදී ආණ්ඩුවේ මැති ඇමැතිවරු තමන්ට ඕනෑ ස්ථානාධිපතිවරුන් පත් කරන ලෙස කියමින් විෂය භාර අමාත්‍යවරයා සමඟ සටන් කරති. පසුගිය කාලයේ එවැනි එක් නිර්දේශයක් ක්‍රියාත්මක නොකිරීම ගැන උරණ වූ එක්තරා කඳුකර පළාතක මහජන නියෝජිතයකු තමන්ගේ මිනිසුන් පාරට බස්සවා තමන් කියන ස්ථානාධිපති පත් කරගන්නට සටනක් ඇරඹීය. මෙවැනි පසුබිමක රටේ විනයක් ඇති පොලීසියක් පවත්වාගෙන යන්නේ කෙසේද කියා අපි වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කරමු. 

පොලීසියේ අද පවත්නා තත්ත්වය පසුගිය දශක දෙක තුනක් තිස්සේම රට පාලනය කළ සෑම ආණ්ඩුවක් විසින්ම ටිකෙන් ටික වර්ධනය කළ බව ප්‍රසිද්ධ කරුණකි. තත්ත්වය ඉතාම නරක අතට හැරෙද්දී පොලිස් සේවාව පාලනය සඳහා ස්වාධීන පොලිස් කොමිසමක් ස්ථාපිත කෙරිණි. එහෙත් දැන් එම කොමිසමේ බලතලද දේශපාලනඥයන් විසින් අත්පත් කරගෙන සිටින බව පැහැදිලිය.

රටේ සමාජ අසාධාරණය, අපරාධ වැඩිවීම ඇතුළු බොහෝ අයහපත් ප්‍රවණතා වර්ධනය වූයේ විනය පිරිහුණු අය විසින් කරන විනය පාලනය නිසාය. එබැවින් දැන්වත් රටේ පොලීසිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්වාධීන තත්ත්වයට පත්කළ යුතුය. පොලීසියට ඔවුන්ගේ ආදර්ශ පාඨය අනුව ධර්මයේ හැසිරෙන්නට හැකිවන්නේ එවිටය. එසේ නොකර පොලීසිය තවදුරටත් දේශපාලන බලධරයන්ගේ අතකොළුවක් වන්නට ඉඩහැරියහොත් එය මහා සමාජ ව්‍යවසනයකට පාර කපන බව සක්සුදක් සේ පැහැදිලිය.

ආණ්ඩුව මෙලෙස ක්‍රියා කරන විට මෙම තත්ත්වය සාරගර්භ ලෙස විවේචනය කරන්නට අපේ විපක්ෂය සැදී පැහැදී සිටියි. එහෙත් ඔවුන්ට ආණ්ඩු බලය ලැබුණු දාට ඒ අය ගමන් කරන්නේද පැරැණි පීල්ලේම බව පසුගිය ආණ්ඩු දෙක තුනක කටයුතු පරීක්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව හඳුනාගන්නට පුළුවන. එනිසා පොලීසිය ‘පොලිෂ්’ කොට එය විධිමත් සහ දීප්තිමත්, විනයගරුක රාජ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා දැන්වත් සමාජයේ කිසියම් කථිකාවක් ගොඩනැගිය යුතුය. එය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද කාර්යභාරයයි.

Monday, 14 February 2022 10:38

වැලන්ටයින්

Monday, 14 February 2022 08:40

ආදර හීසර

 

logo

ආණ්ඩුව නියම පීල්ලට ප්‍රවේශ වී ඉදිරි සංවර්ධන කටයුතු කරගෙන යෑමට සැලැසුම් කර තිබේ. ඒ අනුව ඉදිරියට එන වර්ෂ තුනක කාලය කාර්යක්ෂම කාල වකවානුවක් ලෙස හැඳින්විය හැකිය. වගා හානි වූ ගොවීන්ට වන්දි දීම පෙරේදා ආරම්භ විය. රජයේ ඉදිරි වැඩසටහන් පිළිබඳ මහජනයා දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවක් දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වන අතර එහි මංගල රැස්වීම ඊයේ අනුරාධපුරයේදී පැවැත්විණි. ඒ අතර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සාර්ථක ඉන්දීය සංචාරයක් නිමාකොට දිවයිනට පැමිණියේය. එම සංචාරයේ අරමුණ ඉන්දියාවේ ආර්ථික සහයෝගය අපට ලබා ගැනීමය.

වත්මන් ආණ්ඩුව ප්‍රචාරය සඳහා විශේෂ පරිශ්‍රමයක් දරන්නේ නැත. පවත්නා ආර්ථික තත්ත්ව යටතේ ප්‍රචාරය හා දේශපාලන වාසිය අමතක කොට ජනතා සේවයට පමණක් සීමා වන්නට ආණ්ඩුවට සිදු වී ඇත. එහෙත් මෙහි නරකක් ද තිබේ. එනම්; ආණ්ඩුවේ වැඩසටහන් පිළිබඳ යථා අවබෝධයක් මහජනයා තුළ තහවුරු නොවීමය. මේ අඩුව නිසා මහජනයා නොමඟ ගිය අවස්ථා තිබිණි. මුළාවට පත්වූ අවස්ථා තිබිණි. කාබනික කෘෂිකර්මය ඊට හොඳ නිදසුනක් ලෙස ගත හැකිය. එම වැඩසටහනෙහි සාරය හා වටිනාකම තවම ජනතාව හොඳින් වටහා ගෙන නැත. එහි ප්‍රතිඵලය වූයේ විපක්ෂයට දේශපාලන විරෝධතා ඇති කිරීමට පාර කැපීමය. ජනතාව දැනුම්වත් නම්; විපක්ෂයට විකාර කරන්න ඉඩක් නොලැබෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ රජය හා මහජනතාව අතර මනා සබඳතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. රජය කරන දේ මහජනයා දැන ගත යුතුය. මහජනයා ඒ සම්බන්ධයෙන් දක්වන සැබෑ ප්‍රතිචාරය රජය දැන ගත යුතුය. මේ සඳහා පළමුව කළ යුත්තේ රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් හඳුන්වා දීමය. දෙවනුව ඒවා මහජනයාගේ සංවාදයට ලක් කිරීමය. තෙවනුව ඒවා සමාලෝචනය කිරීමය. මේ සියල්ලට හොඳ පිළිතුරක් ඉහත කී රැස්වීම් මාලාව තුළ ඇත. එය අනුරාධපුරයෙන් ආරම්භ වීම ද ඓතිහාසික සිද්ධියකි. ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වූ පොහොට්ටුවේ මංගල රැස්වීම පැවැත් වූයේ ද අනුරාධපුරයේදීය. එය හොඳ ආරම්භයකි. අනුරාධපුරයෙන් අරඹන දේ වරදින්නේ නැතැ‘යි විශ්වාසයක් අපට ද තිබේ.

වගා හානි වූ ගොවීන්ට වන්දි දීම ආරම්භ කිරීමෙන් ඉහත කී රැස්වීම් මාලාවට තවත් ගැම්මක් ලැබෙනු ඇත. වගා හානි වූ ගොවින් හතළිස්දහසක් මේ වනවිට හඳුනා ගෙන ඇති අතර ඒ සියලු දෙනාට අක්කරයකට රුපියල් හතළිස් දහස ගණනේ වන්දි ගෙවීම සිදුකෙරේ. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි එකසිය විසි අටක් බව ද සඳහන්ය. වන්දි ගෙවීම සඳහා භෝග වර්ග හයක් හඳුනා ගෙන ඇත. එනම්: වී, අර්තාපල්, බඩඉරිඟු, මිරිස්, ලොකු ලූනු හා සෝයා වශයෙන්ය. මේවා වාණිජ වගා ලෙස ද හැඳින්විය හැකිය. ස්වාභාවික හානි, වන අලින්ගේ වගා පාළු ආදිය ද සැලකිල්ලට ගනිමින් වන්දි මුදල් ගෙවීම සිදුවේ. මෙය ගොවියාගේ විශ්වාසය දිනා ගත හැකි හොඳම මාර්ගය වෙයි.

 
ආණ්ඩුවක් හැමවිටම තම ස්ථාවරත්වය ප්‍රදර්ශනය කළ යුතුය. එසේ නොවන කල එක පැත්තකින් ජනතා විශ්වාසය බිඳ වැටෙන අතර තව පැත්තකින් අන්තර්ජාතික සහයෝගය දුර්වල වෙයි. අස්ථාවර ආණ්ඩු සමඟ ආර්ථික ගනුදෙනු පැවැත්වීමට දියුණු රටවල් කැමැති වන්නේ නැත. එබඳු රටවලට ආයෝජකයන් ආකර්ෂණය වන්නේ ද නැත. අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීම සඳහා හැටනව ලක්ෂයකගේ ඡන්දය භාවිත වී ඇති බවය. ඒ හැටනව ලක්ෂයම යළිත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව වටා පවුරක් සේ ගොඩනඟාගත හැකිය. එය කළ හැක්කේ මහජනයා සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීමෙන් පමණි. අප ජනතාව හමුවට යා යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර කළ කතාව මෙහිදී යළි සිහිපත් කිරීම වටී.

ජනාධිපතිවරයා මෑතක කළ කතාවකදී කියා සිටියේ තමන් ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු ඉදිරි වසර තුන තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බවය. ජනාධිපතිවරයා ඒ සඳහා ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය. ජනාධිපතිවරයාගේ පොරොන්දු පත්‍රය ‘සෞභාග්‍යයේ දැක්ම’ ලෙස හැඳින්විය හැකිය. කොවිඩ් වසංගතය තුළ වුව එය ක්‍රියාත්මක වෙයි. ආණ්ඩුව නියම පීල්ලට වැටී ඇති බැවින් සෞභාග්‍යයේ දැක්ම වේගවත් ගමනකට මුල පුරනු ඇත.

Thursday, 10 February 2022 05:19

තෙල් වැඩිවීම

22 01 26 154142

ආර්ථිකයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද කුණාටු බහුල සමයක් අපි ගෙවමින් සිටිමු. සමාජයේ රඟදෙන ආර්ථික සහ දේශපාලන අර්බුද විසින් ජන මනස ඔද්දල් කර තිබේ. හොඳ පුවතක් අසන්නට දකින්නට අපේක්ෂා කරන අපට මේ කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ සිත නිවන කතා නොවේ. පසුගිය දිනවල මාධ්‍යයේ පුවත් මැවූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය එබන්දකි.

අධිකරණමය කටයුත්තකට නිමිත්ත වී තිබෙන එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවූ පුවත් අනුව කියැවුණේ වෛද්‍ය පීඨයේ හටගත් නවක වද සිද්ධියක් මර්දනයට දේශපාලන හයිය මත මැර බලය යොදාගත් බවකි. ඊට සම්බන්ධ වූයේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයකු බවට ද ප්‍රකටය.

එම කාරණාව දැන් අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින නිසා දැන්ම ඒ ගැන පූර්ව නිගමනවලට පැමිණීම යුක්ති සහගත නැත. එහෙත් සමාජ සංවාදයට ලක්විය යුත්තේ දේශපාලනඥයන්ගේ හයිය ඔවුන්ගේ දූ පුතුන් හා අනුගාමිකයන් විසින් ආඥාදායක ලෙස භාවිත කිරීම සම්බන්ධයෙනි. රාගම වෛද්‍ය පීඨ සිද්ධියට තම පුත්‍රයා සම්බන්ධ බවට චෝදනා නැගී ඇති බැවින් ඒ ගැන පරීක්ෂණ හමාරවන තුරු තමන් මෙතෙක් දැරූ රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව අරුන්දික ප්‍රනාන්දු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඔහු එම දැනුම්දීම  කළේ ජනාධිපතිවරයා විසින් කරන ලද අවවාදයකට පසුව බවද වාර්තා විය.

රාජ්‍ය ඇමැතිවරයා ඉවත්වීමත්, දින දෙකක් තුළ සිද්ධියට වගකිවයුතු පිරිස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමත් නිසා ආණ්ඩුවේ සායම බේරුණි. එහෙත් මෙය එක් හුදෙකලා සිද්ධියක් ලෙස නොසලකා මෙබඳු අනීතික දේ සිදුවීම වැළැක්වීම පාලක පන්තියටත් සමාජයටත් පැවරුණු සමාන්තර වගකීමකි. පරීක්ෂණ, කොමිෂන් සභා, විශේෂ කමිටු ආදිය ගැන සමාජයේ කිසිදු විශ්වාසයක් නැත. අවශ්‍ය වන්නේ යුක්තිය ඉටුවීම සේම ඒ බව සමාජයට පෙනෙන්නට තිබීම බව නීතිමය සිද්ධාන්තවල සඳහන්ය.

ශ්‍රී ලංකාව වැනි සමාජයේ සෑම ක්ෂේත්‍රයකම දේශපාලනය මුල්බැස ඇති බොහෝ රටවල ඇත්තේ මෙවැනි දේශපාලන සංස්කෘතීන්ය. දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ මෙන්ම ලතින් අමෙරිකානු ඇතැම් රටවල මෙබඳු දේශපාලන හයිකාරකම් බහුලය. එහෙත් ඒ බොහෝ රටවලට වඩා අදීන 2500 වසරක සංස්කෘතික හා ආගමික උරුමයක් අපට ඇතැයි අපි නිරන්තරයෙන් උදම් අනමු. එහෙත් එම සංස්කෘතියේ හා ආගමික උරුමයේ හර පද්ධතිය මෙබඳු අශ්ලීල ක්‍රියා තුළ නියෝජනය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයාගේ අවවාදය නිසා හෝ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යරවරයා සිය තනතුරෙන් ඉවත්වීම යහපත් දේශපාලන සංස්කෘතියකට පාර කැපීමකි. මීට පෙර මේ ආකාරයේ මැති ඇමැතිවරුන් තනතුරුවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඉතාමත් සීමිත වශයෙනි. කලකට පෙර යුගයේ මෙරට ක්‍රියාත්මක වූ පැරණි දේශපාලන සංස්කෘතිය අනුව නම් යම් මැති ඇමැතිවරයකු අතින් වරදක් සිදුවූවා නම් ඉල්ලා අස්වීම කැපී පෙනුණි.

එදා බොහෝවිට කැපීපෙනුණේ ප්‍රතිපත්තිමය හේතු මත මැති ඇමැතිවරුන් ආණ්ඩුවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීමය. මෙහිදී සරල උදාහරණ කිහිපයක් දක්වතොත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ තල්ගොඩපිටිය අල්ලස් කොමිසමෙන් චෝදනා ලත් මැති ඇමැතිවරුන් ගණනාවක්ම තනතුරුවලින් පහ කෙරුණි. පසු කාලයේ ජේ.ආර්. ජනාධිපතිවරයා විසින් සිරිල් මැතිව් අමාත්‍යවරයා ඉවත් කළේ ජනාධිපතිගේ අණ නොතකා උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව ජනපද ඇතිකරන්නට යාම නිසාය. එකල අයවැය විවේචනය කළ එම්.ඩී.එච්. ජයවර්ධන අමාත්‍ වරයා ද ජේ.ආර්. විසින් තනතුරින් ඉවත් කළේය. 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී තමන්ට ඊට එකඟ විය නොහැකි බව කියමින් ගාමණී ජයසූරිය මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.

අතීතයේ මෙවැනි හරබර දේශපාලනයක් ක්‍රියාත්මක වුවද වර්තමානයේ කවර ආණ්ඩුවක් රට පාලනය කළත් වර්තමානයේ සක්‍රියව පවතින දේශපාලන සංස්කෘතිය එදාට සාපේක්ෂව බෙහෙවින් පරිහානියට ලක්ව ඇති බව පොදු සමාජ මතයයි.

අද රටට අවශ්‍ය වන්නේ කුමක්දැයි ඔබට ප්‍රශ්නයක් වන්නට පුළුවන. මෙම පරිහානියෙන් ගොඩ එන්නට නම් දැනට රටට වුවමනා කරන්නේ පවත්නා දේශපාලන සංස්කෘතියේ පූර්ණ වෙනසකි. රාගම වෛද්‍ය පීඨයේ සිදුවීම වැනි හුදෙකලා සිද්ධියක් ගෙන ඊට පැලැස්තරයක් දැමීම ගරාවැටෙන දේශපාලන සංස්කෘතිය නගාසිටුවීමට හොඳ මුක්කුවක් නොවේ. ජනතාව අපේක්ෂා කරන්නේ පූර්ණ වෙනසකි.

මෑතක සිට වත්මන් රජය හුවාදක්වන එක රටක් - එක නීතියක් සංකල්පය වැනි දේ සංකල්පමය තත්ත්වයෙන් ඔබ්බට ගෙන ගොස් යථාර්ථයක් බවට පත් කළ යුතුය. මැති ඇමැතිවරුන් යනු සමාජය තලාපෙලා පාලනය කරන්නට විශේෂ වරප්‍රසාද ලද්දන් නොව පොදු නීතියට යටත් හික්මුණු පිරිසක් බවට පත්වීම ඉතාමත් වැදගත්ය.

Page 36 of 62