Monday, 07 February 2022 12:53

නගරං දේශපාලනයට පැලැස්තර විසඳුම් එපා

22 01 26 154142

ආර්ථිකයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද කුණාටු බහුල සමයක් අපි ගෙවමින් සිටිමු. සමාජයේ රඟදෙන ආර්ථික සහ දේශපාලන අර්බුද විසින් ජන මනස ඔද්දල් කර තිබේ. හොඳ පුවතක් අසන්නට දකින්නට අපේක්ෂා කරන අපට මේ කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ සිත නිවන කතා නොවේ. පසුගිය දිනවල මාධ්‍යයේ පුවත් මැවූ රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය එබන්දකි.

අධිකරණමය කටයුත්තකට නිමිත්ත වී තිබෙන එම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයේ පළවූ පුවත් අනුව කියැවුණේ වෛද්‍ය පීඨයේ හටගත් නවක වද සිද්ධියක් මර්දනයට දේශපාලන හයිය මත මැර බලය යොදාගත් බවකි. ඊට සම්බන්ධ වූයේ රාජ්‍ය අමාත්‍යවරයකු වූ අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයකු බවට ද ප්‍රකටය.

එම කාරණාව දැන් අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින නිසා දැන්ම ඒ ගැන පූර්ව නිගමනවලට පැමිණීම යුක්ති සහගත නැත. එහෙත් සමාජ සංවාදයට ලක්විය යුත්තේ දේශපාලනඥයන්ගේ හයිය ඔවුන්ගේ දූ පුතුන් හා අනුගාමිකයන් විසින් ආඥාදායක ලෙස භාවිත කිරීම සම්බන්ධයෙනි. රාගම වෛද්‍ය පීඨ සිද්ධියට තම පුත්‍රයා සම්බන්ධ බවට චෝදනා නැගී ඇති බැවින් ඒ ගැන පරීක්ෂණ හමාරවන තුරු තමන් මෙතෙක් දැරූ රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව අරුන්දික ප්‍රනාන්දු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඔහු එම දැනුම්දීම  කළේ ජනාධිපතිවරයා විසින් කරන ලද අවවාදයකට පසුව බවද වාර්තා විය.

රාජ්‍ය ඇමැතිවරයා ඉවත්වීමත්, දින දෙකක් තුළ සිද්ධියට වගකිවයුතු පිරිස අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමත් නිසා ආණ්ඩුවේ සායම බේරුණි. එහෙත් මෙය එක් හුදෙකලා සිද්ධියක් ලෙස නොසලකා මෙබඳු අනීතික දේ සිදුවීම වැළැක්වීම පාලක පන්තියටත් සමාජයටත් පැවරුණු සමාන්තර වගකීමකි. පරීක්ෂණ, කොමිෂන් සභා, විශේෂ කමිටු ආදිය ගැන සමාජයේ කිසිදු විශ්වාසයක් නැත. අවශ්‍ය වන්නේ යුක්තිය ඉටුවීම සේම ඒ බව සමාජයට පෙනෙන්නට තිබීම බව නීතිමය සිද්ධාන්තවල සඳහන්ය.

ශ්‍රී ලංකාව වැනි සමාජයේ සෑම ක්ෂේත්‍රයකම දේශපාලනය මුල්බැස ඇති බොහෝ රටවල ඇත්තේ මෙවැනි දේශපාලන සංස්කෘතීන්ය. දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ මෙන්ම ලතින් අමෙරිකානු ඇතැම් රටවල මෙබඳු දේශපාලන හයිකාරකම් බහුලය. එහෙත් ඒ බොහෝ රටවලට වඩා අදීන 2500 වසරක සංස්කෘතික හා ආගමික උරුමයක් අපට ඇතැයි අපි නිරන්තරයෙන් උදම් අනමු. එහෙත් එම සංස්කෘතියේ හා ආගමික උරුමයේ හර පද්ධතිය මෙබඳු අශ්ලීල ක්‍රියා තුළ නියෝජනය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයාගේ අවවාදය නිසා හෝ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යරවරයා සිය තනතුරෙන් ඉවත්වීම යහපත් දේශපාලන සංස්කෘතියකට පාර කැපීමකි. මීට පෙර මේ ආකාරයේ මැති ඇමැතිවරුන් තනතුරුවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීම සිදුකර ඇත්තේ ඉතාමත් සීමිත වශයෙනි. කලකට පෙර යුගයේ මෙරට ක්‍රියාත්මක වූ පැරණි දේශපාලන සංස්කෘතිය අනුව නම් යම් මැති ඇමැතිවරයකු අතින් වරදක් සිදුවූවා නම් ඉල්ලා අස්වීම කැපී පෙනුණි.

එදා බොහෝවිට කැපීපෙනුණේ ප්‍රතිපත්තිමය හේතු මත මැති ඇමැතිවරුන් ආණ්ඩුවලින් ඉවත්වීම හෝ ඉවත් කිරීමය. මෙහිදී සරල උදාහරණ කිහිපයක් දක්වතොත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ කාලයේ තල්ගොඩපිටිය අල්ලස් කොමිසමෙන් චෝදනා ලත් මැති ඇමැතිවරුන් ගණනාවක්ම තනතුරුවලින් පහ කෙරුණි. පසු කාලයේ ජේ.ආර්. ජනාධිපතිවරයා විසින් සිරිල් මැතිව් අමාත්‍යවරයා ඉවත් කළේ ජනාධිපතිගේ අණ නොතකා උතුරු නැගෙනහිර ප්‍රදේශවල නව ජනපද ඇතිකරන්නට යාම නිසාය. එකල අයවැය විවේචනය කළ එම්.ඩී.එච්. ජයවර්ධන අමාත්‍ වරයා ද ජේ.ආර්. විසින් තනතුරින් ඉවත් කළේය. 1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී තමන්ට ඊට එකඟ විය නොහැකි බව කියමින් ගාමණී ජයසූරිය මහතා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්විය.

අතීතයේ මෙවැනි හරබර දේශපාලනයක් ක්‍රියාත්මක වුවද වර්තමානයේ කවර ආණ්ඩුවක් රට පාලනය කළත් වර්තමානයේ සක්‍රියව පවතින දේශපාලන සංස්කෘතිය එදාට සාපේක්ෂව බෙහෙවින් පරිහානියට ලක්ව ඇති බව පොදු සමාජ මතයයි.

අද රටට අවශ්‍ය වන්නේ කුමක්දැයි ඔබට ප්‍රශ්නයක් වන්නට පුළුවන. මෙම පරිහානියෙන් ගොඩ එන්නට නම් දැනට රටට වුවමනා කරන්නේ පවත්නා දේශපාලන සංස්කෘතියේ පූර්ණ වෙනසකි. රාගම වෛද්‍ය පීඨයේ සිදුවීම වැනි හුදෙකලා සිද්ධියක් ගෙන ඊට පැලැස්තරයක් දැමීම ගරාවැටෙන දේශපාලන සංස්කෘතිය නගාසිටුවීමට හොඳ මුක්කුවක් නොවේ. ජනතාව අපේක්ෂා කරන්නේ පූර්ණ වෙනසකි.

මෑතක සිට වත්මන් රජය හුවාදක්වන එක රටක් - එක නීතියක් සංකල්පය වැනි දේ සංකල්පමය තත්ත්වයෙන් ඔබ්බට ගෙන ගොස් යථාර්ථයක් බවට පත් කළ යුතුය. මැති ඇමැතිවරුන් යනු සමාජය තලාපෙලා පාලනය කරන්නට විශේෂ වරප්‍රසාද ලද්දන් නොව පොදු නීතියට යටත් හික්මුණු පිරිසක් බවට පත්වීම ඉතාමත් වැදගත්ය.

Read 300 times