Wednesday, 09 September 2020 11:03

ඇපකරුවකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ(CRIB) දත්තයන මත ජනතාව අපහසුතාවට පත් නොකරන්න - අගමැති

 

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යාංශයේ පැවති අවස්ථාවේ අගමැතිතුමා මේ බව සඳහන් කර ඇත.
 
ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කර ඇත..

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී අවධානය යොමු කර ඇත. ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)  නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි උපදෙස් ලබාදී ඇත.

පසුගිය රජය සමෘද්ධි ලබාදීමේදී පාක්ෂිකයින්ට විශේෂිත කොට එම ආධාර පිරිනමනා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව සොයා බලා දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියලුම පවුල් සඳහා සමෘද්ධි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදී ඇත.

සෞභාග්ය යේ දැක්ම යටතේ “සපිරි ගමක්“ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 28ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14021 ක් සඳහා රුපියල් මිලියන 2 බැගින් බෙදා දීමට නියමිතය. 

ඒ අනුව අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ග්‍රාමීය ප්‍රජා කමිටු විසින් තෝරා ගත් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
1. ග්‍රාමීයමාර්ග, පඩි, බොක්කු, කුඩා පාළම්, පැති කානු සංවර්ධනය
2. කෘෂි කාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සංවර්ධනය
3. ග්‍රාමීය මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, වෙළඳපොළ ස්ථාන සංවර්ධනය
4. කුඩා වැව්, ඇළ මාර්ග, අමුණු, පොකුණු, කෘෂිකාර්මික ළිං ප්‍රතිසංස්කරණය
5. ප්‍රජා පානීය ජල සම්පාදන ව්‍යාපෘති
6. ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන නවීකරණය හා වැඩි දියුණු කිරීම
7. පාසල් සඳහා විදුලිය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
8. වන සතුන්ගෙන් මිනිස් වාසස්ථානවලට සිදු වන අනතුරු ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා වන ව්‍යාපෘති.