Wednesday, 08 March 2017 07:28

කාන්තා දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල පණිවුඩය

මනුෂ්‍ය වර්ගයාගේ තිරසර පැවැත්ම රඳාපවතිනුයේ, සවිබල ගැන්වුණු කාන්තා සංහතියේ ශක්තිය මත බව, අප හැම පිළිගන්නා කරුණකි.  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ළගාකර ගැනීම සහ සියලු කාන්තාවන් හා දැරියන් සවිබලගැන්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඉදිරි පහළොස් වසර තුළ අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති තිරසර සංවර්ධන අභිමතාර්ථ අතරට එක්වන්නේ ද ඒ අනුවය.


ශ්‍රී ලංකාව මාතෘත්වය පූජනීයත්වයෙන් පිළිගන්නා රටකි.  එහෙත් මාතෘත්වයට ලබාදෙන උසස් පිළිගැනීමෙන්, සමස්ත ස්ත්‍රී ප්‍රජාවට රැකවරණයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත.  රට තුළ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමේ උත්සාහයේ දී ශ්‍රී ලාංකික කාන්තාවගේ අනන්‍යතාව, ආරක්ෂාව මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව හවුල් වීමේ සහ මෙහෙයවීමේ අවස්ථාව කාන්තාවට ලබාදීම වෙනුවෙන් රජය මැදිහත්ව සක්‍රීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුත්තේ එබැවිනි.

ශ්‍රී ලාංකීය ජනගහනයෙන් හරි අඩකටත් වැඩි ප්‍රතිශතයක් වන කාන්තා නියෝජනය, ලොව සංවර්ධන රටවල මට්ටමේ සමාජ සංවර්ධන දර්ශක අත්කරගෙන සිටීම සතුටට කරුණකි.  සාක්ෂරතාවයෙන් මෙන්ම ආයු අපේක්ෂාවෙන් ද පුරුෂයා ඉක්මවා ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ අපේ ආර්ථිකයේ වැඩිම බර දරන්නිය බව ද නොරහසකි.

ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කිරීම වෙනුවෙන් ද කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණ තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ද ඉකුත් දෙවසර තුළ අප රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යාම අපගේ අපේක්ෂාවය.

ඒ වෙනුවෙන් කාන්තා සංවිධාන, කාන්තා ක්‍රියාමාර්ග ඇතුළු සියලු පාර්ශවයන්ගේ මැදිහත්වීම් සහ දායකත්වය වෙසෙසින් අපේක්ෂා කරමි.

ශ්‍රී ලාංකික කාන්තා ප්‍රතිරූපය ගෞරවනීය ලෙස සමාජය තුළ ස්ථාපනය කිරීම වෙනුවෙන් "තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී" මැයෙන් සංවිධානය කෙරෙන මෙවර ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර, කාන්තා දින අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන සියලු දෙනා වෙත මගේ ප්‍රශංසාව පළකරමි.