Displaying items by tag: ඉන්දීය අරක්ෂක උපදේශක අජිත් දොවාල් ජනපති හමුවෙයි

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සෑම ආකාරයකම ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය අරමුණු කොටගත් බෙහෙවින් ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.
ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සාකච්ඡාවට භාජන වූ ප්‍රධාන මාතෘකා අතර විය.
ඉන්දියාවේ සහභාගිත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළයුතු බවට දෙපාර්ශ්වය එකඟ වූහ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත අජිත් දොවාල් මහතා දැනුම් දුන්නේය.
දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා අවධාරණය කළහ.

Photographyby: Jeevan Chandimal / Upul Nilanga (President’s Media Division)

 

Published in පුවත්