Displaying items by tag: හෙක්ටයාර දෙකට අඩු ඉඩම්වල වගා කරන ගොවීන්ගේ ණය සම්පූර්ණයෙන් කපා හරිනවා

හෙක්ටයාර දෙකට අඩු කුඩා ඉඩම්වල වී වගා කරන ගොවීන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.

එම තීරණය වහාම ක්‍රියාත්මක කරන බව ද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කළේය.

කුඩා ඉඩම්වල වී වගා කරන ගොවි පවුල් අතිදුෂ්කර තත්ත්වයට පත්ව සිටිනා හෙයින් එම තීරණයට එළැඹි බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

සීමාවක් නැතිව රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම හේතුවෙන් කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව පහළ තලයකට පත්ව ඇති බව පැවසූ අගමැතිවරයා එම නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංවිධානයකට හා ප්‍රතිසංස්කරණයකට භාජන කළ යුතු බව ද පැවසීය.  පුරවැසියකුට සිය ජීවිත කාලය පුරා කඩිනම් හා කාර්යක්ෂම සේවාවන් කරදරයකින් තොරව ලබා ගැනීමට හැකි රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීම මෙහි අරමුණ බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.

 

අපට අවශ්‍ය දූෂණයෙන් හා වංචාවෙන් තොර රටක් ගොඩනැංවීමට බවත් එය අනිවාර්යයෙන්ම විය යුත්තක් බවත් හොරකමින් තොර සමාජයක්, හොරුන්ට ඉඩක් නැති රටක්, හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීතිරීති ඇති පාලනයක් ඇති කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ස්වර්ණභූමි මහවැලි ආදි ඔප්පු මඟින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් අයිතිය සින්නක්කරවම දෙන බව පැවසූ අගමැතිවරයා නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුලී පදනම මත ජීවත් වන පවුල් සඳහා සහනදායි පදනමක් යටතේ නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට දෙන බව ද කීවේය.

චීනය ඉදි කරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කරන බවත් තමා කලින් අගමැති ධුරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888ක් ඔවුන් ත්‍යාගයක් ලෙස පිරිනමා තිබෙන අතර මේ නිවාස අතුරින් නිවාස එකසියඅටක් කලාකරුවන්ට වෙන් කර ඇති අතර මේ සියලු නිවාස කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට නොමිලේ දීම තම බලාපොරොත්තු වන බවත් අගමැතිවරයා කියා සිටියේය.

Published in නව පුවත්