Tuesday, 22 October 2024

පන්දහසේ දීමනාව මැයි මාසයේත් නිවෙසටම

Posted On Monday, 04 May 2020 17:08

කොරෝනා ව්‍යාප්තිය නිසා පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමය අනුව ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව දෙවන වටයේ ගෙවීම ඇරඹේ.



2020 අප්‍රේල් මස ඉහත දීමනා ලැබූ ස්ථාවර ප්‍රතිලාභී ලේඛනය, ප්‍රමුඛතා ලේඛනය හා ග්‍රාමීය කමිටු විසින් නිර්දේශ කරනු ලැබූ ප්‍රතිලාභී ලේඛනය යන ලේඛනවල ඇතුළත් ප්‍රතිලාභීන්ට දීමනාව ගෙවනු ලැබේ.

දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්ගේ මගපෙන්වීම යටතේ අදාළ ග්‍රාම නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නිවාස වෙතම ගොස් දීමනාව ගෙවනු ඇත. දීමනාව ගෙවීම් 2020 මැයි 11 වැනිදා ආරම්භ කර 2020 මැයි 15 වැනි දින අවසන් කිරීමට නියමිතය.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවති සාකච්ඡාවේදී පහත සඳහන් පරිදි ගෙවීම් කිරීමට තීරණය කෙරිණ.

i වැඩිහිටි දීමනාව -ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින්
ii සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව
iii ආබාධිත දීමනාව
iv වකුගඩු රෝගී දීමනාව
v ගොවි විශ්‍රාම වැටුප
vi ධීවර විශ්‍රාම වැටුප

වැඩිහිටි දීමනාව, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සහ වකුගඩු රෝගී ප්‍රතිලාභීන් වෙත දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත සපයනු ලැබේ. ගොවි විශ්‍රාම වැටුප හා ධීවර විශ්‍රාම වැටුප හිමි ප්‍රතිලාභීන්ට දීමනා ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය වෙත ලබා දෙනු ඇත.

 

 

රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්