මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳුදා සිට දින හතක කාලයකට තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (12) හදිසි පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යයාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු සහ තවත් නිළධාරීන් 15 දෙනකු පමණ කොවිඩ් අසාදිත වීමත්, ඒ හා සමාන පිරිසක් කොවිඩ් ආසාදිතව වේරහැර කාර්යයාලයෙන් ද වාර්තා වීමත් නිසා සඳුදා සිට දින හතක කාලයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා අනිත් සේවකයින්ගේ ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවත්, එම කටයුතු අවසන් වූ වහාම නැවත විවෘත කරන දිනය දැනුම් දීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.
ඒ අනුව හෙට (13) දිනයේ දී එම කාර්යයාල වලින් සේවය ලබා ගැනීමට කාලය වෙන් කර ගත් අයවලුන්ට එම සේවාව ලබා දීම සඳහා විවෘත කර තැබෙන අතර සඳුදා සිට වෙන් කරගත් සියලුම වෙන්කර ගැනීම් අවලංගු වන බව ද, කාල වෙන්කරගැනීමේ ක්‍රියාවලිය නැවත සක්‍රීය වන්නේ නැවත විවෘත කරන බව දැනුම්දුන් පසුව බව ද කියා සිටි අමාත්‍යවරයා මෙම වසා දැමීමට පියවර ගත් කාර්යාල හැරුණු කොට අනිකුත් දිස්ත්‍රික්ක වල පිහිටි කාර්යයාල වලින් සේවය ලබා ගැනීමේ හැකියාව තිබෙන බව ද සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර වල කාලය ඉක්මවා යන්නේ නම් ඒ පිළිබඳව කලබල වීම හෝ කඩිනමින් බලපත්‍ර අලුත් කරවාගැනීම සිදු කළ යුතු නැති බවත්, කල් ඉකුත් වන සියලු රියදුරු බලපත්‍ර ගැසට් නිවේදනයක් මඟින් දෙසැම්බර් 31 දක්වා වලංගු කර තිබෙන බවත්, අවධාරණය කළ දිලුම් අමුණුගම මහතා මේ තත්ත්වය මෙලෙසම දෙසැම්බර් 31 වන තුරුත් පැවතුණ හොත් නැවතත් ගැසට් නිවේදනයක් මඟින් තවත් මාස 06 ක් ඉදිරියට කාලය දීර්ඝ කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.