Saturday, 11 January 2025

ඉන්ධන බෙදාහැරීම කළමනාකරණයට නව වෙඩ් අඩවියක්

Posted On Sunday, 17 July 2022 15:51

ඉන්ධන බෙදාහැරීම කළමනාකරණයට නව වෙඩ් අඩවියක්

 

රටතුළ ඉන්ධන බෙදාහැරීම වඩාත් ප්‍රශස්තව සිදුකිරීමට ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුනවා දීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව http//fuelpass.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුය. එම වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට හිමි ඉන්ධන අවසරපත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම (16) සිට ජනතාවට විවෘතව පවතී.

මෙහිදී පාරිභෝගිකයින්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස් ගමන් බලපත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කර තම වාහනය ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි කළ හැකියි. භාෂා ත්‍රිත්වයෙන්ම ලියාපදිංචි වීමට අවස්ථාව සලසා ඇත.

මෙම නව ක්‍රමවේදය තුළින් රට පුරා ඉන්ධන බෙදාහැරීම වඩාත් විධිමත්ව හා සාධාරණව සිදු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ (16) ඉන්ධන බෙදාහැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, “රජය කළ ඇණවුම් අනුව ඊයේ ලංකාවට ඩීසල් නෞකාවක් ළඟා වූ අතර අද රාත්‍රියේ තවත් නෞකාවක් පැමිණීමට නියමිතයි. එම නෞකාවන්හි ඉන්ධන පිළිබඳ ප්‍රමිතිය නිර්ණය කළ පසුව ගොඩබෑමේ කටයුතු සිදු කරනවා.

එමෙන්ම ඉදිරි 18 හෝ 19 දින පෙට්‍රල් නෞකාවක්ද ලංකාවට පැමිණීමට නියමිතයි. ඊට අමතරව රජය තවත් පෙට්‍රල් නෞකාවකට ගෙවීම් කර ඇති අතර එම නෞකාවද 22 හෝ 23 දින ලංකාවට ළඟා වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මේ අයුරින් මේ වන විට ලංකාවට ලැබී ඇති හා ඉදිරියේදී ඇණවුම් කර ගෙන්වා ගැනීමට අපේක්ෂිත ඉන්ධන බෙදාහැරීම නිවැරදිව කළමනාකරණය කර සාධාරණ ක්‍රමවේදයක් තුළින් ජනතාවට ලබාදීමට ජාතික ඉන්ධන අවසරපත් සඳහා පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීම අද ආරම්භ කරනවා. http//fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ඉන්ධන පාරිභෝගිකයින්ට ලියාපදිංචි වීමට පිළිවන.

මේ සඳහා තම ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය එසේ නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කළ යුතුයි. එසේ ලියාපදිංචි වීමේදී නම, ලිපිනය, දුරකථන අංකය හා විශේෂයෙන්ම වාහන අංකය යන තොරතුරු ලබාදිය යුුතු වෙනවා. එක් තැනැත්තකුට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි. ඒ අනුව එක් ලියාපදිංචි වීමකට අදාළව එම වාහනයට අනන්‍ය වන QR Code එකක් ලබාදෙනවා. මේ මගින් එකම වාහනයක් දෙවරක් ලියාපදිංචි වීම වැළකෙනවා. එම QR Code එක ඉන්ධනහල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ වාහනයට හිමි ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරනු ඇති.

වාහනයේ අග අංකයට අනුව ඒ ඒ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ දින ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම වාහන සඳහා ලබාදිය හැකි ඉන්ධන ප්‍රමාණයද ප්‍රකාශයට පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව ක්‍රමවේදය සම්බන්ධව ඉන්ධන හල් සේවකයන්, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට අප කටයුතු කරනවා. මෙය නව ක්‍රමවේදයක් නිසා ක්‍රියාත්මක කිරීමේ මුල් දිනවලදී යම් ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකියි. නමුත් එම ගැටලු මගහරවාගෙන මෙම ක්‍රමය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. “

මේ සඳහා ලියාපදිංචි වීම අද සිට ජනතාවට විවෘත කෙරෙන නමුත් සියලු පාරිභෝගිකයින් එකවර ලියාපදිංචියට යොමු වුවහොත් බාධා ඇතිවිය හැකි නිසා ඉදිරි දින කිහිපයේද මේ සඳහා ලියාපදිංචි විය හැකි බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම විදුලි ජනන යන්ත්‍ර භාවිතා කරන කර්මාන්තකරුවන්ට ප්‍රාදේශීය කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා, Lanka IOC ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා, සහකාර පොලිස් අධිකාරි (තොරතුරු තාක්ෂණ) ප්‍රභාත් පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ.