Saturday, 19 October 2024

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවයි ‍

Posted On Monday, 05 August 2024 07:57

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවයි ‍

 

මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීම අද (05) පෙරවරුවේ සිදු කෙරිණි.

අලුයම 04 පසුවී මිනිත්තු 10ට යෙදුණු සුබ මොහොතින් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවාලයන්හී කප් සිටුවීම මෙහිදි සිදුවිය.
විෂ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා සහභාගී වු අතර මහනුවර කතරගම දේවාලයේ කප් සිටුවීම එහි බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහැර දේවාලය වටා ගමන් ගත් අතර මෙතැන් සිට අභ්‍යන්තර පෙරහැර පහක් පැවැත්වෙනු ඇත.
දේවාල අභ්‍යන්තර පෙරහැරින් අනතුරුව අගෝස්තු මස 10 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය සිදුවේ. එතැන් සිට අගොස්තු මස 14 වන දින දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කරන අතර පළමු රන්දෝල් පෙරහැර අගෝස්තු මස 15 වන ආරම්භ වේ.
මෙම මස 19 වන දින අවසන් රන්දෝලි පෙරහැර ගමන් ගන්නා අතර එදින සධාතුක පෙරහැර කරඩුව අස්ගිරිය ඓතිහාසික ආදාහන මළු විහාරයේ තැම්පත් කිරීමෙන් අනතුරුව පසුදින අලුයම සිව් මහා දේවාල පෙරහැර ගැටඹේ දිය කපනා ගං තොටට පැමිණ එහිදී දිය කැපීමේ චාරිත්‍රයද සිදුකිරිමට නියමිතය.
සිව් මහා දේවාල පෙරහැර කටුකැගේ ගණදෙවි කෝවිලට පැමිණ පුද සත්කාර කොට ආදාහන මළුව පරිශ්‍රය අසලට පැමිණෙමින් ඇසළ පෙරහැර හා එක්ව දහවල් පෙහැරට එක්වේ. සධාතුක පෙරහැර කරඩුව නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම දේවාල සමඟින් දහවල් පෙරහැරේ ගමන් කිරීමෙන් පසු මෙවර වාර්ෂික පෙරහැරේ වීදි සංචාරය නිමාවට පත්වේ.
පෙරහැර ගමන් කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා විසින් පෙරහැර සන්දේශය ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසුව මෙම වර්ෂයේ ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වේ.
මහනුවර ජනපති මැදුරේදී පැවැත්වෙන එම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීමද සිදුවේ.