Saturday, 19 October 2024

ගංවතුර අවදානම පිළිබඳව සැළකිලිමත් වන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

Posted On Tuesday, 20 August 2024 07:45

ගංවතුර අවදානම පිළිබඳව සැළකිලිමත් වන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

 

කලු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 70 ක පමණ වර්ෂාපතනයක් ලැබීමත් සමග ගංවතුර අවදානම තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු ජී.ඩබ්.ඒ.සකුරා දිල්තාරා මහත්මිය පවසයි.

පසුගිය දින කිහිපය තුළ පැවැති වර්ෂාපතනයත් සමග සැළකියයුතු මට්ටමේ ගංවතුර අවදානමට ලක්වූ ප්‍රදේශ ලෙස කලු ගඟේ පහත් බිම් ප්‍රදේශත් අත්තනගලු ඔයේ පහත් බිම් ප්‍රදේශත් සැළකිය හැකි බවත් මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසත් ඒ මහත්මිය දැනුම් දෙයි.

එසේම මෙම පහත්බිම් හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් දැඩි අවධානයකින් එම මාර්ග භාවිත කළ යුතු පෙන්වා දෙන ඒ මහත්මිය කලු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණීයට අයත් පහත්බිම්වල ජීවත්වන ජනතාව සැළකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් පවසයි.

තවද අත්තනගලු ඔයෙහි දැනට සුළු ගංවතුර තත්වයක් පවතින අතර පහත්බිම් වන අත්තනගල්ල , ගම්පහ, ජාඇළ , කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල ඇතැම් මාර්ග තවදුරටත් ජලයෙන් යටවී පවතින බැවින් එම මාර්ග භාවිත කරන රියදුරන් මේ පිීළබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඇය ඉල්ලීමක් කළාය.