Saturday, 19 October 2024

මෝදර දේවාලයේ පෙරහැර හේතුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කෙරේ

Posted On Thursday, 22 August 2024 10:01

මෝදර දේවාලයේ පෙරහැර හේතුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කෙරේ

 

ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුවත් කර ඇත.

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඓතිහාසික මෝදර දේවාලයේ ඇසළ මහා පෙරහැර හෙට සහ අනිද්දා (23 සහ 24) දෙදින තුළ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙම පෙරහැර 23 වනදා දහවල් 01 සිට රාත්‍රී 08 දක්වා කාලය තුළ මෝදර දේවාලයෙන් ආරම්භ වී දේවාල මාර්ගය ඔස්සේ හිරේවතන බුදු පිළිමය තෙක් ගමන් කර අම්බලන්ගොඩ පරණ පාර මහා වීදිය ඔස්සේ සිරිකත වටරවුම දක්වා ගමන් කර ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස ගාල්ල දෙසට ගමන් කර ඌරවත්ත පාලම අසලින් දේවාල මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතය.
24 වනදා රාත්‍රී 09 සිට අළුයම 03 දක්වා කාලය තුළ විහාරස්ථානයෙන් ආරම්භ වී ඉහත මාර්ගය ඔස්සේ දේවාලය වෙත පැමිණීමට නියමිතය.
ඉහත කාලයන් තුළ ගාල්ල - කොළඹ මාර්ගය භාවිතා කරන මහජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනූව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන එක් මංතීරුවක ගමන් කළ හැකි බව දන්වා ඇත.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන (බර වාහන හැර) විකල්ප මාර්ගය වන සංඝරාජ විහාරය අසලින් කැපූ ඇළ හන්දිය ඔස්සේ පොල්වත්ත හන්දිය හරහා අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය දෙසින් ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ගාල්ල දෙසට ගමන් කළ හැක.