Saturday, 19 October 2024

ළමා ආරක්ෂාව සම්බන්ධ ගැටලු විසඳීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කෙරේ

Posted On Wednesday, 28 August 2024 11:28

ළමා ආරක්ෂාව සම්බන්ධ ගැටලු විසඳීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කෙරේ

 

මහාධිකරණ විනිසුරුවරියක ලෙස මෙතෙක් කල් තමන් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින්, ළමා ආරක්ෂාව සම්බන්ද ගැටළු විසදීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂම කරන බව, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිමහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පවසයි.

හෙද නිලධාරීන්ට තම වෘත්තිය මගින් තමන්ගේ කාර්ය භාරය කැපවීමෙන් ඉටු කිරීමෙන්, ලෞකික සහ ලෝකෝත්තර ජීවිත ද සාර්ථක කර ගැනීමට හැකි බවද එතුමිය පැවසුවාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරිය මෙසේ පැවසුවේ, ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණුවන හෙදි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය දා කුරුණෑගල හෙද විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ උත්සවයකට එක්වෙමිණි.

මෙහිදී දරුවන්ගේ බුද්ධිය , පෞරුෂත්වය, අධ්‍යාපනය , සාරධර්ම හා ආකල්ප වර්ධනය කලයුතු ආකාරය පිළිබදවත් , ළමා අරක්ෂාව සම්බන්දයෙන් වයස අවුරුදු 08 ට අඩු ළමයින් තනි නොකිරීම , තමන් අකමැති දේ ප්‍රතික්ෂේප කිරීම , තනිවම ක්‍රීඩා කිරීමට ඉඩ නොදීම , ආරක්ෂිත ස්ථානවල පමණක් දරුවා රඳවා තැබීම ආදී කරුණු පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරිණි.

එමෙන්ම විශේෂ දේශණයක් පැවැත්වූ විශ්‍රාමික ළමා රෝග විශේෂඥ වෛද්‍ය. පී.එම්. විජේවර්ධන මහතා පැවසුවේ, යහපැවැත්මෙන් යුතු දරුවෙකු බිහි කිරීමටත් ළමා අපයෝජනයන්ගෙන් දරුවන් බේරා ගැනීමට නම් දෙමව්පියන් සමග ගැටෙන හෙද නිලධාරීන් එම දෙමව්පියන් දැනුවත් කිරීම සිදු කල යුතු බවයි.

ළමා ආරක්ෂාව සම්බන්දයෙන් මනෝසමාජීය මැදිහත්කරණය පිළිබදව දිස්ත්‍රික් මනෝසමාජීය නිලධාරී කාංචනා සුභසිංහ මහත්මිය හා ලක්මිණි ධර්මදාස යන මහත්මීන් සිදු කල අතර මාධ්‍යවේදී ජනූර් කිචිලාන් මහතා විසින් මාධ්‍ය තුල ළමා අපයෝජන වාර්තාකරණය පිළිබදව ගවේශණාත්මක විග්‍රහයක් සිදු කලහ.

මෙම අවස්ථාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය , ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් , පුහුණුවන හෙද නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු නිලධාරීන් 400 ක් පමණ සහභාගී වූහ.