Saturday, 19 October 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්

Posted On Sunday, 01 September 2024 09:44

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්

 

ක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට හා පොලිස් පැමිණිලි සහිත පුද්ගලයින්ට (තාමිම් කරනු ලැබූවන්ට), මෙම පොදු සමා කාලය තුළදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට, හය මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබාගැනීමට හෝ අවස්ථාව හිමිවේ. එසේම අදාළ තැනැත්තාට එරෙහිව ඇති පැමිණිල්ල (Absconding Report)ඉවත් කරගෙන එරටින් පිටව යාමටද මෙම කාලය තුළදී අවස්ථාව සැලසෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය යොමුකළ නිවේදනයක සඳහන් වේ.

ඒ සඳහා, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ තානාපති කාර්යාලය මගින් නිකුත් කරන හදිසි පිටවීමේ පත්‍රය සමග පහත සඳහන් ආගමන සේවා මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් විය යුතුය.

1. අල් දෆ්රා සේවා මධ්‍යස්ථානය (Al Dhafra)

2. අල් මකාමි සේවා මධ්‍යස්ථානය (Al Maqam)

3. අල් ශහාමා සේවා මධ්‍යස්ථානය (Al Shahama)

4. සුවෙයි හාන් සේවා මධ්‍යස්ථානය (Sweihan)

මෙමපොදු සමා කාලය යටතේ එරටින් පිටවීමට අපේක්ෂා කරන්නේ නම්, පිටවීමේ අවසර පත්‍රය ලබාගෙන දින 14ක් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත් විය යුතුය.

තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැදී සිටින්නේ නම් මෙම පොදු සමාකාලය පිළිබදව ඔවුන් දැනුවත් කරන මෙන් මහජනතාවගෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.