Saturday, 19 October 2024

මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදයි

Posted On Monday, 16 September 2024 15:13

මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අදයි

 

ලොව පුරා ජිවත් වන කෝටි සංඛ්‍යාත මුස්ලිම් ජනතව විසින් පිළිපදිනු ලබන ඉස්ලාම් ධර්මය මෙලොව පරිපුර්ණ කර දුන් මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය අද (16) දිනයට යෙදී තිබේ.

මීට වසර 1,400කට පෙර සෞදි අරාබියේ මක්කම නගරයේ දී මුහම්මද් නබිතුමා උපත ලද බව ඉස්ලාම් ඉතිහාසයේ සඳහන් වේ. අශීලාචාර ක්‍රියාකාරකම් පැවති යුගයක උපත ලැබූ නබිතුමා,සියලු ජනතාව ඒකරාශී කරමින් ඉස්ලාම් දහමේ සාමය හා සමානතාව ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළේය.

අල්ලාහ් දෙවියන්ගේ අණ ලෝක ජනතාවට පැහැදිලි කළ එතුමා අධ්‍යාත්මික ජීවිතයෙන් මිනිසාගේ මනස හා සිතුවිලි වර්ධනය කිරීමට හැකි වන ආකාරය ද පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ඇස්තමේන්තුගත ලෝක ජනගහණ දත්ත අනුව ලොව ජනගහණයෙන් දෙවෙනි ස්ථානය ඉස්ලාම් ධර්මයට හිමිව තිබේ.

ලොව පුරා ජිවත් වන මුස්ලිම් බැතිමතුන්ගේ ජීවිතය හැඩ ගැසී ඇත්තේ ශුද්ධ කුරානය මඟින් දෙවියන් වහන්සේ විසින් ලබා දුන් මාර්ගෝපදේශ සහ නබි මුහම්මද්තුමාණන්ගේ ජීවිතය අනුවයි. නබි තුමනාණන්ගේ දේශනා එක් ජාතියකට, එක් රටකට හෝ එක් දේශයකට පමණක් සීමා වුවක් නොවේ. ලොව ඕනෑම තැනක ජිවත් වන මිනිසුන්ට ඉස්ලාම් දහම මනාව පිළිපැදිය හැකි ආකාරයේ දේශනා මෙන්ම නීතිරීති ද එහි ඇතුලත් වේ.

ඉස්ලාම් ධර්මය ලොව පුරා ශාන්තිය සහ සාමය ඇති කිරීම සඳහා වෙහෙසෙන ධර්මයකි. තමන්ගේ සාමය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ගිවිසුම් මඟින් තමන්ගේ අයිතිවාසිකම් අත්හැර ගැනීමට පාවා නබි තුමාණෝ පියවර ගත්හ.

එවන් උතුම් වක්තෘවරයෙකුගේ ජන්ම දිය යෙදී ඇති අද දිනයේ ලෝක වාසි සැමට ශාන්තිය සමාදානය අත්වේවා යි පතමු.