Saturday, 19 October 2024

පාසල්වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් ලබාගැනීම වහාම නතර කළ යුතුයි - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්

Posted On Wednesday, 02 October 2024 07:17

පාසල්වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් ලබාගැනීම වහාම නතර කළ යුතුයි - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්

 

පාසල්වලට ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් ලබාගැනීම වහාම නතර කළ යුතු බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) නව රජය බලයට පත්වීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යූහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය, ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ අත්පොත 2021/1 වශයෙන් පාසල් සඳහා මුදල් වෙන්කළ හැකි චක්‍රලේඛනයක් පවතින බවද එම චක්‍රලේඛන අනුව විදුහල්පතිවරුන්ට පාසල් කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට හැකියාව පවතින බවද පැවසුවේය.
පාසලක යම් විවිධ ප්‍රසංගයක්, ක්‍රීඩා උත්සවයක් පැවැත්වේ නම් එම අදාළ කටයුත්තට අනුකූලව මෙම චක්‍රලේඛය මත ක්‍රියාත්මක වීමට සියලුම විදුහල්පතිවරුන්ට හැකියාව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
අද ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වෙන පාසල් උත්සව සඳහාද මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක කළ හැකි බවද අවිධිමත් අයුරින් දෙමාපියන්ගෙන් හා ආදි ශිෂ්‍යයන්ගෙන් මුදල් එකතු කිරීම යම් සීමාවකට ලක්විය යුතු යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එම චක්‍රලේඛයට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමිය වෙනුවෙන් සහ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් සියලුම රජයේ විදුහල්පතිවරුන්ගෙන් අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලා සිටියේය.