Tuesday, 24 December 2024

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වාදීමට පියවර

Posted On Tuesday, 10 December 2024 10:14

නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වාදීමට පියවර

 

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

සහ ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තෙක් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා දැනට අනුගමනය කරන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය කඩිනමින් හඳුන්වා දීමට නියමිතව තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.