සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනා ගිනිකෙළි සමග අවුරුදු සතුට භුක්ති විඳීමට හුරුවී සිටිනවා.අනාරක්ෂිත ලෙස රතිඤ්ඤා භාවිතය හේතුවෙන් අවුරුදු සමයේ බොහෝ දෙනා සිය දෙනෙත් අනතුරට පත්කර ගන්නවා.
මෙලෙස සිදුවන අනතුරු නිසා නව අවුරුද්දේ ආරම්භය රෝහල්ගත කිරීමේ සිට ජීවිතාන්තය දක්වා දෑස් අහිමි වීම හෝ ස්ථිර පෙනීම අඩුවීමක් සිදුවිය හැකියි. සමීක්ෂණ දත්ත අනූව ගිණිකෙලි ද්‍රව්‍ය නිසා ඇතිවන අනතුරු අතරින් වඩාත්ම බහුල වන්නේ එනම් 46%ක්ම අත් සහ ඇඟිලි වලට සිදුවන අනතුරුයි. මෙම අනතුරු තුවාල වලින් 17%ක් ඇස් වලටද, තවත් 17%ක් මුහුණ සහ හිස ආශ්රිත ප්‍රදේශයටද සිදුවෙනවා.
රතිඤ්ඤා වැනි ගිනිකෙලි වලින් ඇසකට යම් අනතුරක් වුණොත් ගලාගෙන යන පිරිසිදු වතුර හෝ සේලයින් වැනි දෙයක් ඇසට දැමීම සිදුකළ යුතුයි. එමෙන්ම ඇසට යම් අනතුරක් සිදුවූ විට ඇස ට ඇතුල් වූ ද්‍රව්‍ය ඉවත් කිරීමට නොයා යුතුය. පිරිසිදු රෙදි කඩකින් ඇස ආවරණය කර ළඟම ඇති රෝහල කරා යා යුතුය.
හදිසි අනතුරු වලදී කලබල වී නොගැලපෙන ප්‍රතිකාර සිදුකිරීමෙන් තත්ත්වය දරුණු විය හැක. විශේෂයෙන්ම උත්සව සමයේ රතිඤ්ඤා පත්තු කිරීමේදී ආරක්ෂිතව එය සිදුකළ යුතු අතර ඒ සඳහා නිසි ප්‍රමිතියකට අනූව නිපදවන ලද රතිඤ්ඤා මිලදීගැනීම සිදුකළ යුතුයි.
එළඹෙන අවුරුදු සමයේ ගිණිකෙලි අනතුරු වලින් ඔබගේ දෑස් ආරක්ෂා කරගැනීමටත් එම අනතුරු අවම කරගැනීමටත් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පහත උපදෙස් පිළිපදිනා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සෑම විටම වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ ගිණිකෙලි ද්‍රව්‍ය භාවිතා කරන්න. කිසි විටෙක කුඩා ළමුන් විසින් දැල්වීම නොකළ යුතුයි.
දැල්වීම කළ යුත්තේ විවෘත ස්ථාන වල වන අතර කිසි විටෙක ගොඩනැගිලි තුළ, රථවාහන අසල හෝ ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඇති ස්ථාන වල මේවා භාවිතා නොකළ යුතුයි.
රතිඤ්ඤා වරකට එක බැගින් දැල්විය යුතු අතර දැල්වූ වහාම අසලින් ඉවත් විය යුතුයි.
රැස්ව සිටින අය රතිඤ්ඤා දල්වන ස්ථානයට සැලකිය යුතු දුරකින් සිටිය යුතුයි.
කිසි විටෙක දැල්වූ රතිඤ්ඤා කෙනෙකු දෙසට හෝ සතුන් දෙසට විසි නොකළ යුතුයි.
කිසිවිටක මෙම රතිඤ්ඤා හෝ ගිණිකෙලි වල ඇති සේවා නූල හෝ ඇතුලත කොටස් කඩා වෙනස් නොකළ යුතුයි.
නොදැල්වූ රතිඤ්ඤා නැවත දැල්වීම සිදු නොකරන්න.
ගිණිකෙලි දල්වන අවස්ථාවේ වතුර බාල්දියක් තබාගත යුතු අතර පිළිස්සුම් සඳහා ප්‍රථමාධාර පිණිස මෙන්ම නොදැල්වූ රතිඤ්ඤා ආදිය ගිල්වීම සඳහා එය භාවිතා කළ හැක.
නොවැලැක්විය හැකි අනතුරකට ලක්වූ විට කල් පසු නොකර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ අත්බෙහෙත් වලින් වැළකීම ඉතා වැදගත් වේ.
ඉතා කුඩා අත්වැරදීමකින් ඔබට හෝ ඔබේ දරුවාට නිවැරදි කළ නොහැකි අනතුරක් සිදුවිය හැකියි. ගිණිකෙලි භාවිතයේදී ආරක්ෂිත පියවර අනුගමනය කරන්න. දැනුවත් වී කටයුතු කිරීමෙන් අවුරුදු සතුට අහිමි නොකරගමු.
විශේෂාංගය සඳහා කරුණු අවුරුදු සමයේ රතිඤ්ඤා හේතුවෙන් ඇසට සිදුවන හානි වළක්වා ගැනීම සම්බන්ධයෙන් අද (09) ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුව ඇසුරෙනි.
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර