Tuesday, 15 September 2020 04:40

20 සංශෝධනයට කල් මරන්න එපා

 

විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවදුරටත් නිරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කර ති‍බේ. එහි අදහස කෙටුම්පතෙහි නිරවද්‍යතාව හා ජනහිතකාමි බව තහවුරු කරගැනීම යැයි සිතන්නට පුළුවන. මේ අතර, විපක්ෂ නායකවරයා කියා සිටින්නේ 'දහනවය ප්ලස්' ව්‍යවස්ථා සංශෝධනයක් ගැනය. ඒ ගැන පුදුම විය යුතු නැත. කුමන හෝ හේතු සාධක නිසා විපක්ෂය මේ දිනවල කටයුතු කරන්නේ බහුතර මහජන මතයට එරෙහිවය. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලන ව්‍යාපාර දක්වන මතිමතාන්තර සැලකිල්ලට ගත යුතු නැත. කළ යුත්තේ රටට හා ජනතාවට වැඩ කරන්නට අවස්ථාව ලැබෙන අයුරින් ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමය.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියෙහි මූලික තර්කයක් වන්නේ 1978 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දුන් බලය තහවුරු කළ යුතුද? කපාහැරිය යුතුද? යන්නය. බහුතර ජනතාවගේ මතය වන්නේ ජනාධිපතිවරයා සතු බලය තහවුරු කළ යුතුය යන්නය. ඊට ‍අදාළ ජනමතය වාර දෙකකදී ප්‍රකාශ වී ඇත. විද්වතුන්ගේ මතය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තුරු ජනාධිපතිවරයාට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා නොපමාව විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුතු බවය. කල් මැරීම සුදුසු දෙයක් නොවන බව කවුරුත් පිළිගනිති. ඒ අනුව සිදු විය යුත්තේ ඉහත සඳහන් නිරීක්ෂණ කමිටුව වඩාත් කාර්යක්ෂම වීමය.

විධායක ජනාධිපති ක්‍රමය ඉබේ පහළ වූවක් නොවේ. ඒ පිළිබඳ සංවාදය 1960 ගණන්වලදී පවා පැවැතිණි. පූර්ණ බලය සහිත රාජ්‍ය නායකයකු මඟින් රට ඉදිරියට ගෙන යා හැකි බව එදා පිළිගැනිණි. අදත් බහුතර ජනයාගේ මතය වන්නේ යුක්තිගරුක, නීතිගරුක හා පූර්ණ බලය සහිත නායකයකු නැතිව රට ඉදිරියට ගෙන යා නොහැකි බවය. එමෙන්ම පොදු ජනයාට සාධාරණය ඉටු කිරීම සඳහා ද එබඳු නායකයකු අවශ්‍ය බව මහජන විශ්වාසය වෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ඉල්ලීමක් හෝ සංවාදයක් හෝ අද නැත. 1978 සිට වසර හතළිස් දෙකක් පුරාවට විධායක ජනාධිපති ක්‍රමය රටට මුල්බැසගෙන තිබේ. එය වෙනස් කිරීමට යෑමෙන් ඇති වන්නේ දේශපාලන විකෘතියකි.

78 ව්‍යවස්ථාව දහනව වතාවක් සංශෝධනය වී ඇත. එයින් 13, 17 හා 19 යන ව්‍යවස්ථා සංශෝධන අසාර්ථක බව පැහැදිලිය. මහජන මතයට අනුව එම සංශෝධන දේශපාලන විහිළු ලෙස සැලකේ. මෙයින් 19 ව්‍යවස්ථා සංශෝධනය මහජනයාගේ දැඩි විවේචනයට ලක් විය. එම ව්‍යවස්ථා සංශෝධනය නිසා රටට සිදු වී ඇති විනාශය බරපතළ බව කිව යුතුය. ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම සංශෝධනයේ අරමුණ විය. රාජ්‍ය නායකයාගේ තටු කැපීම ලෙස එය සමාජගත විය. යහපාලනයේ හිටපු ජනාධිපතිවරයා ද ස්වකීය තටු කපාගැනීමට සාඩම්බරයෙන් ඉදිරිපත් වූ අතර, එය දේශපාලන මෝඩකමක් සේ අද සලකනු ලැබේ.

දහනවයෙන් පසු රටේ ජාතික ආරක්ෂාව පිරිහිණි; බුද්ධි සේවා දුර්වල විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයට රට ගොදුරු විය. යහපාලනයේ ආරම්භයේ සිට අවසානය දක්වාම දකින්න ලැබුණේ ‍දේශපාලන ආරවුලක් පමණි. ජනාධිපතිවරයාගේ වැඩසටහන් අගමැතිවරයා පිළිගත්තේ නැත. අගමැතිවරයාගේ වැඩසටහන් ජනාධිපතිවරයා පිළිගත්තේ නැත. දෙදෙනාගේ ආරවුල මැද ආර්ථිකය කඩාවැටිණි. රජය කෙරෙහි පැවැති මහජන විශ්වාසය බිඳවැටිණි. එය අරාජික යුගයක් ලෙස හඳුන්වන්නට ද සමහරු පෙලඹුණහ. මේ අතර, දහනවයෙන් ස්ථාපිත වූ කොමිෂන් සභා හිතුවක්කාරී ලෙස ක්‍රියා කරනු දක්නට ලැබිණි. මින් කියවෙන්නේ රාජ්‍යයට හා ජනතාවට නායකයකු අවශ්‍ය බවය; ඔහු පූර්ණ බලය සහිත නායකයකු වීම සුදුසු බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ඈත අතීතයේ සිටම පෙන්වා දෙන යථාර්ථයක් තිබේ. එනම්: බලය නැති දුර්වල නායකයා හැමවිටම රාජ්‍යයත් රටත් විනාශ කරන බවය. රාජ්‍යය නැත හොත් රාජ්‍ය තන්ත්‍රය දුර්වල වූ විට යුක්තිය හා සාධාරණත්වය ද අහිමි වෙයි. එය ශ්‍රී ලංකාවේ පමණක් නොව, සමස්ත ලෝකයේම දේශපාලන යථාර්ථය වෙයි. ඈත අතීතයේ රජතුමාට අසීමිත බලයක් තිබිණි. රටවැසියා ඒ බලය පිළිගත්තේය. යටත්විජිත යුගයේ මහ රැජනට එම බලය තිබිණි. නිදහසින් පසු අග්‍රාණ්ඩුකාරවරයාට එම බලය තිබිණි. 1972 ව්‍යවස්ථාවෙන් එම බලය පැවරීමට උත්සාහ කළේ ජනාධිපතිවරයා වෙතය. 1978 ව්‍යවස්ථාවෙන් එය සම්පූර්ණ විය. ජනාධිපති ක්‍රමය යනු දේශපාලනයේ ක්‍රම විකාශනයකි.

රට ගොඩනැඟීමට නම්, 19 වන ව්‍යවස්ථාව අහෝසි කළ යුතුය. ඒ සඳහා 20 වන සංශෝධනය නොපමාව සම්මත කරගත යුතුය. කල් ගත වීම සුදුසු දෙයක් නොවේ. කල් ගත වන විට ජනතා විශ්වාසය බිඳී යයි; වැඩසටහන් හා සැලසුම් අවුල් වෙයි.

Read 506 times Last modified on Tuesday, 15 September 2020 04:48