Tuesday, 22 March 2022 06:23

විදේශ විනිමය සොයන නව ප්‍රතිපත්ති හදමු

 

 

රටකට විදේශ විනිමය අහිමි වීම ඒ රටේ ආර්ථිකයේ ප්‍රාණය නිරුද්ධ වීමකි. අද අප රට පවතින්නේ එම බරපතළ අනතුරුදායක මට්ටමේය. ඒ අනතුරෙන් ගොඩ ඒමට නම් ඒ පිළිබඳ දීර්ඝ දේශන, වැඩමුළු, රැස්වීම් ඵලක් නැත. රටට විනිමය උපයා දෙන ක්‍රියාමාර්ගවලට වහාම අනුගත විය යුතුය. ඒ සඳහා නව ප්‍රතිපත්ති සම්පාදනය කර එම ප්‍රතිපත්තිවලට අනුකූල වන සේ තීන්දු තීරණ ගැනීමත් ඒවා අප්‍රමාදව ක්‍රියාවේ යෙදවීමත් අවශ්‍යය.

අපේ විදේශ විනිමය යනු ඩොලර්ය. නිදහස ලබා දශක හතක් ඉක්ම යද්දීත් අප තවමත් කතා කරන්නේ ඩොලර් බිලියන හත අටක ආර්ථිකයක් පිළිබඳ පමණි. එය රටක් වශයෙන් අප මුහුණ දී සිටින ඛේදවාචකයේ ගැඹුර පෙන්වා දෙන්නකි. රටට ඩොලර් ගලා එන ක්‍රමවේද පිළිබඳ ජාතික ප්‍රතිපත්තිවලට වඩා ඊළඟ ඡන්දය ලබාගැනීම සඳහා උපයෝගී වන සිල්ලර ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේ අහිතකර ප්‍රතිඵල දැන් රටම භුක්ති විඳිමින් සිටී.

මේ රට මෙතෙක් පාලනය කළ සෑම ආණ්ඩුවක්ම මේ ‍ඛේදවාචකයේ කොටස්කාරයෝ වෙති. රටේ අනාගත අභිවෘද්ධියට වඩා තමන්ගේ බඩ කට පුරවා ගැනීමේ චේතනාවෙන් වරින්වර ආණ්ඩු වෙනස් කිරීමට දායක වූ පොදු මහජනතාවටද මේ වගකීමෙන් කොටසක් පැවරෙන බවත් කිව යුතුය.

මේ හා සමාන තත්ත්වවලට මුහුණ දුන් දකුණු ආසියාවේ ඇතැම් රටවල් මේ වනවිට එම බඩගෝස්තරවාදී චින්තනයෙන් බැහැරව රටට ලැබෙන ඩොලර් ආදායම් අගය තේරුම් ගනිමින් වැටී සිටින වළෙන් ගොඩඒමට කටයුතු කර ඇති බව ඒ රටවල් ලබා ඇති ආර්ථික වර්ධනයෙන් පෙන්නුම් කරයි. මේ යථාර්ථය නොදකින දේශපාලනඥයන් සිටිත් නම් ඔවුන් තවදුරටත් අනුගමනය කරන්නේ රට ආර්ථික අගාධයකට දැමූ ජරාජීර්ණ යල් පැනගිය ප්‍රතිපත්තිම බව පැහැදිලිය.

ඒ කතාබහට වහ වැටී බඩගෝස්තර දේශපාලනයේ ඇලී ගැලී සිටිමින් තමන්ට ලැබෙන තාවකාලික පටු වාසි ගැන පමණක් සිතා කටයුතු කරන ජනතාවද කරන්නේ රට අමාරුවේ දැමූ ප්‍රතිපත්තිවලට රුකුල් දීමක් පමණි. පවතින තත්ත්වයෙන් මිදී ලොවේ සෙසු රටවල් තම ආර්ථිකය ශක්තිමත් කරගත් ආකාරය සම්බන්ධයෙන් ජනතාවටද දැක්මක්, කියවීමක් තිබිය යුතුය. අලු‍ත් ප්‍රතිපත්ති මත ක්‍රියා කරන පාලකයන් තමන්ටද අවශ්‍ය බව පොදු මහ ජනතාවද පෙන්වා දිය යුතුය. නැත්නම් කවදාවත් මේ නරාවළෙන් ගොඩඒමක් නැත.

ආයෝජන මාර්ග, විකිණීමක්, රටේ සම්පත් සූරාකෑමක්, ජාතිය විනාශ කිරීමක් වශයෙන් හඳුන්වන පටු අදහස් නම් පවුර මුලින්ම විනාශ කර දැමිය යුතුය. එක රජයක් බටහිර රටවලින් ආයෝජන ගෙන එනවිට විපක්ෂයේ සිටින නායකයන් එය ජනගත කරන්නේ බටහිරට අපේ රට විකුණන කූඨ උපක්‍රමයක් හැටියටය.

මේ රටේ සිටින පෞද්ගලික ව්‍යවසායකයන් වුවද ඇතැම් විට විදෙස් ආයෝජකයන් හඳුන්වා දීමට සූදානම් වන අවස්ථා රට විනාශ කරන කුමන්ත්‍රණ වශයෙන් ජනතාවට පෙන්වාදීමට සැරසෙන අවස්ථාද නැත්තේ නොවේ. එවැනි ආයෝජන වලට විරුද්ධව අරගලවලට ජනතාව මෙහෙයවන කාලකණ්නි දේශපාලන මතවාදවලින් මේ රට මිදෙන තාක් ආර්ථික වශයෙන් ඉදිරියට යාමට රටට හැකියාවක්ද නැත. මෙයට හොඳම උදාහරණයක් වන්නේ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීමට ගත් උත්සාහයන්ට අත්වූ ඉරණමය.

මේ රට ගෝලීය භූ දේශපාලනය තුළ සැලකෙන්නේ ආසියානු කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උපක්‍රමික වටිනාකමක් සහිත රටක් වශයෙනි. එහෙත් එම වටිනාකමේ ඇති වාසිදායක වාතාවරණයෙන් නිසි ඵල ලබාගැනීමට කිසිදු රජයකට ඕනෑකමක් නොතිබුණු බවත් එය රට තුළ දේශපාලනයේ පුහු සටන් පාඨයක් බවට පෙරළා ගනිමින් බලය ලබාගැනීමේ මෙවලමක් වශයෙන් භාවිතා කළ බවත් කනගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුය.

නිසි ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවා ඩොලර් උපයා ගැනීමට ශ්‍රී ලංකාවට ඉතා සුදුසු පරිසරයක් තිබුණත් පෞද්ගලික විශ්වවිද්‍යාල රටට විනයක්, ශාපයක් වශයෙන් හැඳින්වූ ඇතැම් දේශපාලන නායකයන් විසින් එය උඩු යටිකුරු කෙරිණි. සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවීම මේ රටේ මහපාරේ සිදු කෙරුණු අරගලයක් බවට පත්වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

රටේ පිළිගත් අධ්‍යාපන ප්‍රමිතිවලට නොගැළපෙන ප්‍රමිති එහි තිබුණා නම් කළ යුතුව තිබුණේ ඒවා රටට ගැළපෙන ලෙසට වෙනස් කිරීම සඳහා සටන් වැදීම මිස ඒ වෙනුවට එතරම් වටිනා ආයෝජනයක් උපාධි කඩයකට ලඝුකර හපකර විනාශ කිරීම නොවේ.

රටට ඩොලර් උල්පතක් විය හැකිව තිබූ එවැනි ආයෝජන බඩජාරි දේශපාලනයේ ගොදුරු බවට පත්වීමෙන් සිදුව ඇත්තේ රටට ලැබීමට තිබූ ඩොලර් අහිමිවීම පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා එතෙර රටවලට මේ රටේ දරුවන් පිටව යාමෙන් රටේ තිබෙන ඩොලර්ද එතෙරට ඇදී යාමය. දැන් රට මුහුණ දී සිටින ඩොලර් අහේනිය විසඳීම සඳහා තමන්ට රට බාර දෙන්නැයි ඉල්ලීම් කරන දේශපාලනඥයන් මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය දැනගැනීමට රටේ ජනතාව කැමැති වනු ඇත. එය දැනගැනීමට ඔවුන්ට අයිතියක් තිබෙන බවද වටහාගත යුතුය. 

සංචාරක කර්මාන්තය රටට ඇති එක් ඩොලර් උල්පතකි. නිසි ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාල වැනි ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා විවර කිරීම එවැනි උල්පත් සමූහයක් පාදා ගැනීමකි. ඒ සඳහා ප්‍රබල ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළකට යා යුතු අතර එය සිදුවිය යුත්තේ සියලු‍ ප්‍රධාන දේශපාලන නායකයන්ගේ එකඟත්වයෙනි. එවැනි ප්‍රබල වෙනසකට රට සූදානම්ද යන්න ලොකුම ගැටලු‍වයි.

Read 308 times