අපගේ වැටහීමට අනුව ප්‍රධාන අර්බුද තුනක් අප ඉදිරියෙහි පවතී. පළමු අර්බුදය ආර්ථිකයේ කඩාවැටීමය. දෙවන අර්බුදය දේශපාලනය තුළ පවත්නා අවුලය. තෙවන අර්බුදය ජනතාව පාරට බැසීමය. මේ සාධක තුනම පවතින්නේ උත්සන්න තත්ත්වයක බව ද කවුරුත් තේරුම් ගත යුතුය. අර්බුද තුනටම ක්ෂණික විසඳුම් අවශ්‍ය බව ද පිළිගත යුතුය. ඉවසීමෙන් හා බුද්ධියෙන් තොරව ඉහත සාධක හසුරවන්නට ගියහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන්නට පුළුවන. දේශපාලකයන්, සිවිල් සංවිධාන පමණක් නොව; පොදු ජනතාවත් මේවා ගැන නිසි වැටහීමකින් යුතුව ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ආවේග මතින් පමණක් ගැටලුවලට ඇත්ත විසඳුම් සපයා ගත නොහැකිය.
දේශපාලනය හා ආර්ථිකය ගතහොත් ඒ දෙක අතර ඇත්තේ එකිනෙකට සමපාත සම්බන්ධයකි. ස්ථාවර දේශපාලනයක් නැති කොට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම අපහසුය. අනෙක් අතට ආර්ථිකයේ කඩා වැටීම දේශපාලන අවුල් ඇති කිරීමට හේතුවක් වෙයි. හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිමතය අභියෝගයට ලක්වී ඇත්තේ ද ආර්ථිකයේ කඩාවැටීම නිසාය. මහ බැංකුවේ අභිනව අධිපතිවරයා පෙන්වා දෙන අන්දමට ජනතාව වෙතින් ආර්ථික කරුණු සැඟවීම බලවත් වරදකි. පවත්නා යථාර්ථය පැහැදිළි කරමින් ගැටලුවලට විසඳුම් සපයා ගත යුතුය. එවිට ජනතාව අර්බුද විසැඳීම සඳහා යම් සහයෝගයක් දෙනු ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අද සිට පැවැත්වීමට නියමිතය. අයි.එම්.එෆ්. ආයතනය වෙත යෑම මීට කලින් සිදුවිය යුතුව තිබුණ ද එය සිදුවූයේ නැත. ඇතැම් දේශපාලකයන්ගේ මතවාද මෙන්ම වැරැදි ආර්ථික උපදේශන ද ඉහත කාරණය කෙරෙහි බලපා ඇති බව පෙනෙයි. එහෙත් ඒ ගැන වාද - විවාද පැවැත්වීමට කාලයක් නැත. කළ යුත්තේ ඉහත සාකච්ඡා සාර්ථක කරගෙන අයි.එම්.එෆ්. ආයතනය වෙතින් උපරිම ආර්ථික සහයෝගයක් ලබාගැනීමය. එම ආයතනය වෙතින් යහපත් ප්‍රතිචාර ලැබෙන බව විශ්වාස කළ හැකිය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පමණක් නොව; ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත.
ලෝක බැංකුව ඇතුළු ජගත් මූල්‍යායතන ආර්ථික ණය හා ආධාර ලබා දීමේ දී කරුණු ගණනාවක් සැලකිල්ල්ලට ගනී. ණය ගන්නා රටවල්වලට ණය ගෙවීමේ හැකියාවක් තිබිය යුතුය. එලෙසම ලබාගත් ණය ආර්ථික ප්‍රතිලාභ සහිත ව්‍යාපෘති සඳහා ෙයාමු කළ යුතුය. මේ ආයතන රටක දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන අතර සාර්ථක ආර්ථික ව්‍යාපෘති ද ඉල්ලා සිටී. ඒ සඳහා යම් කොන්දේසි පැනවීමට ද ජගත් ආයතන පෙලඹෙයි. මේවා කෙරෙහි මධ්‍යස්ථ දෘෂ්ටියකින් බැලීමට අප පුහුණු විය යුතුව තිබේ.
රටේ මහජන විරෝධතා පවතින්නේ ද උපරිම තලයකය. ජනතාවගේ කැකෑරෙන දුක හා වේදනාව ප්‍රකාශයට පත්වන වේදිකාවක් සේ එය සැලැකිය හැකිය. ඇතැම් දේශපාලන ව්‍යාපාර ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට උත්සුක වන අතර අරගලය ඒ නිසාම වෙනත් අන්ත කරා ගමන් කිරීමට පටන් ගෙන ඇති බවක් ද පෙනෙයි. විදේශීය බලවේග ද අරගලය පසුපස ඇතැයි කිවහොත් එය විහිළුවක් නොව ඉවත දැමිය නොහැකිය. විරෝධතාවල ස්වභාවයට අනුව එය කුමන අන්තයක් කරා ගමන් කරන්නේ ද යන්න නිශ්චය කළ නොහැකිය. ඇතැම්විට අයි.එම්.එෆ්. සාකච්ඡාවලට ද අහිතකර ලෙස මෙය බලපාන්නට පුළුවන. මන්ද ස්ථාවර දේශපාලනයක් නැති රටකට එම ආයතන ආර්ථික ණය ලබාදෙන්නේ නැති බැවිනි.
අර්බුදය දෙස ආපසු හැරී බලන විට එය දැන් පවතින්නේ තුන් ඈඳුතු කතා වස්තුවක් හැටියටය. ආර්ථිකයේ කඩාවැටීම, දේශපාලන අවුල හා මහජන විරෝධතා එකක් නිසා තව එකක් යනාදී ලෙසින් ගොඩනැඟී ඇත. මේ තුනම ජාතික අර්බුද ලෙස පවතී. මෙය තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ විසැඳිය හැකි දෙයක් නොවේ. සමාජයේ සෑම කොටසක්ම යම් කැපකිරීමකට සූදානම් නොවුණහොත් අර්බුදය ජය ගැනීමේ හැකියාවක් නැත. කඹ ඇදීම, කල්මැරීම, වගඋත්තරකරුවන් සෙවීම මේ තීරණාත්මක අවස්ථාවට අදාළ නැත. අපට හැඟෙන පරිදි දැන් සියල්ලන්ගේම අවධානය යොමු විය යුත්තේ අයි.එම්.එෆ්. සාකච්ඡා කෙරෙහිය. එය සාර්ථක කරගැනීමට කවුරුත් වගබලා ගත යුතුය. ඒ සඳහා විශ්වාසය, කැපවීම හා වුවමනාව තිබිය යුතුය.