Friday, 06 May 2022 08:56

අර්බුදයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි

‘‘ප්‍රමාදය මරණයට හේතුව’’ බව බුදු බණෙහි සඳහන්ය. සදාතනික සනාතනික සත්‍යයකි. මේ රට දැන් ඔප්පු කරමින් තිබෙන්නේ එයයි. නිසි කලට නිසි තීන්දු නොගැනීමේ වන්දිය මුළු රට ගෙවමින් තිබේ. ‘‘ගෝඨා ගෝ ගම’’ සෑම තැනම පැතිරී ඇත. එහි ජාත්‍යන්තර ශාඛාවක් ද ඉදිවී ඇත. ජනතාවගේ පුපුරා හැලෙන පීඩනය එමගින් මනාව පෙන්නුම් කරයි. අද රට අත්විඳිමින් සිටින අර්බුදය නොගෙන්වා ගැනීමට හැකියාව තිබූ බව පැහැදිලිය. එහෙත් නිසි තීන්දු නිසි වෙලාවට නොගැනීම නිසා මෙම අර්බුදය දරා උසුලා සිටිය නොහැකි තරමට වර්ධනය විය.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ මාර්ග පාලම් ආදී ප්‍රාග්ධනය වැය කෙරෙණ මහා පරිමාණ ව්‍යාපෘති නතර කිරීමට රජය තීරණය කර ඇති බවය. එමෙන්ම ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා සහන ඇතුළත් නව අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන බවය.

නිදහස ලැබී හැත්තෑ හතර වසරකි. මෙම හැත්තෑ හතර වසර තුළ අප රට පැමිණ තිබෙන්නේ ඉබාගාතේය. කිසිදු ක්ෂේත්‍රයකට අදාළව ජාතික ප්‍රතිපත්තියක් තවමත් සකස් කර ගැනීමට හැකි වී නැත. රට සංවර්ධනය කිරීමේදී ප්‍රමුඛතාව දිය යුතු අංග මොනවාදැයි වර්ගීකරණයක්ද නැත. ජනතාවගේ මතය වන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමුඛතාවය හිමිවන්නේ යහමින් සල්ලි පිල්ලි ගැසිය හැකි ව්‍යාපෘතිවලට බවය. ඒවා හිතළු පමණක්ම නොවේ. සෑම වර්ණයකටම අයත් දේශපාලනඥයන් ඒ බව සනාථ කර ඇත.

මෑත කාලීනව දක්නට ලැබෙන ප්‍රධාන  දුර්ගුණය වන්නේ අනතුරුවල පරිමාව සම්බන්ධයෙන් නිරීක්ෂණ නොකිරීමය. කොරෝනා මාරක වසංගතය ආවේය. එය කල් ඇතිව දැනුම් දී පැමිණි වසංගතයක් නොවේ. එහෙත් එහි පරිමාව සම්බන්ධයෙන් අවබෝධයක් ඉක්මනින්ම ලබාගත යුතුව තිබිණි. එය එසේ වූයේනම් නිසි තීන්දු නිසි වෙලාවට ගැනීමට හැකියාව ලැබේ. එය එසේ සිදුවූ බව සාමාන්‍ය විශ්වාසය වීය. එය හරිහැටි පාලනය නොකළේ යැයි කිසිවකුට කිව නොහැක.

රට තුළ ආර්ථික අර්බුදයක් මතුවන බව ආර්ථික විශේෂඥයන් ප්‍රකාශ කළේ බොහෝ කාලයක සිටය. එමෙන්ම එම දරුණු ආර්ථික අර්බුදය කොරෝනා මාරක වසංගතය නිසා තවත් දරුණු වන බව වටහා ගැනීමට අමුතු නුවණක් ඇවැසි වන්නේ ද නැත. මන්දයත් එම ලෝක වසංගතය මෙරටට ඩොලර් ලැබෙන ප්‍රධාන මාර්ග දෙකක් වන සංචාරක කර්මාන්තයට හා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලට මාරාන්තික බලපෑම් එල්ල කළ හෙයිනි.

මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතුව තිබිණි. එමෙන්ම මහ භාණ්ඩාගාරයේ තත්ත්වය නිවැරැදිව දන්නේ ද ආණ්ඩුවමය. මහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් කොපමණ කාලයක් රට කරවිය හැකි ද යන්න සම්බන්ධයෙන් ගණන් බැලීමක් කළ යුතුව තිබිණි. ඒ අනුව අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව තිබේ. එහෙත් එසේ නොකර ‘ඕනෑ දෙයක් වෙච්ච දෙන්’ යැයි කියන්නාක් මෙන් ඉබාගාතේ රට පැමිණ තිබේ.

සාමාන්‍ය තත්ත්වයකදීට වඩා අර්බුදකාරී අවස්ථාවක තීන්දු තීරණ ගැනීමට විශේෂඥ දැනුමක් ඇවැසිය. දක්ෂතාව යනු එයයි. එහිදී අර්බුදය සරළම අංශුවට කඩා විග්‍රහ කර ගත යුතුය. නිවැරැදි පින්තූරය මතුවන්නේ එවිටය. ඒ අනුව එයට මුහුණ දීමේ උපාය මාර්ගික සැලැස්මක් සකස් කර ගත යුතුය. අර්බුදය, අවස්ථාවක් බවට පත්කර ගත හැකි වන්නේ එවිටය. අර්බුදය ජය ගැනීමට හැකිවන්නේ එමගින් පමණි.

රටට මුදල් එන මාර්ග කඩතොළු වී තිබේ නම් මහා භාණ්ඩාගාරයේ සංචිත දියවී යමින් තිබෙන්නේ නම් වහා කළ යුතුව තිබුණේ ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමය. මිනිසාට ජීවත්වීමට ආහාරපාන, නිවාස හා ඖෂධ අවශ්‍ය වේ. වත්මන් සංකීර්ණ සමාජ වටපිටාව තුළ මිනිසාට තවත් අත්‍යවශ්‍ය බොහෝ දේ තිබේ. විදුලිය අත්‍යවශ්‍යය. ප්‍රවාහනය ද එසේමය. හැමෝටම නොවුණත් බොහෝ දෙනෙකුට, ගෑස් අවශ්‍යම වේ. විශේෂයෙන්ම නාගරික ජනයාට මෙන්ම මහල් නිවාසවල ජීවත්වන ජනයාට ගෑස් අත්‍යවශ්‍යම වූවකි.

මෙම සටහන තබන මොහොත වනවිට පැය ගණන් විදුලිය කැපේ. කිලෝ මීටර් ගණන් දුරට ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම් ද එසේමය. ඉන්ධන පෝලිම්වල මිය යාමේ ඉරණම බාර ගැනීමට රටේ පුරවැසියාට සිදුවී තිබේ. ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඒවාට ප්‍රමුඛතාව දුන්නේ නම් මේ තරම් පීඩනයක් ජනයාට අත්වන්නේ නැත. ‘‘අපි පාරවල් හදන එක නතර කරන්නේ නෑ’’ යනුවෙන් වාගාඩම්බර පාමින් කටයුතු කළා මිස අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමට වැඩ පිළිවෙළක් නොවීය.

මාර්ග පාලම් වැනි ප්‍රාග්ධනය වැය කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට රජය තීරණය කර තිබෙන්නේ දැන්ය. ගමේ ජනයා ‘ලෙඩා මළත් බඩ සුද්දයි’ කියා කීවේ නිකම්ම නොවන බව අද ඔප්පු වී තිබේ.

Read 241 times