Friday, 13 May 2022 07:28

හොඳම විසඳුමට බාධා එපා

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කථාව රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. පවත්නා අර්බුදයෙන් රට මුදාගෙන යළි ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම සඳහා රාජ්‍ය නායකයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග එම කථාවෙහි ඇතුළත්ය. එය විවේචනයට ලක් කරන්නට පෙර සිහි නුවණින් යුතුව යථෝක්ත වැඩපිළිවෙළ විමසා බැලීමට තරම් අප කාරුණික විය යුතුය. මේ වන විට සමාජය තුළ ඇත්තේ සියල්ල විවේචනය කරන හා සියල්ල ප්‍රතික්ෂේප කරන නිෂේධනීය තත්ත්වයකි. සමහරු එම ආස්ථානය ද ඉක්මවා යමින් සියල්ල විනාශ කරන තැනකට තල්ලු වී සිටිති. එය රටේ තත්ත්වය වඩාත් සංකීර්ණ කරයි.

රාජ්‍ය නායකයාගේ කථාව විමසුමට ලක් කළ හොත් එහි ප්‍රධාන කරුණු හතරක් සංගෘහීත වන බව පෙනෙයි. පළමුවැන්න මේ මොහොතේ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පියවර ගනිමින් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට විධිමත් පියවර ගන්නා බවය. දෙවැන්න දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීම හා රාජ්‍ය පාලනය යථාවත් කිරීම සඳහා කාගේත් පිළිගැනීමට ලක් විය හැකි තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමය. තෙවැන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා දහ නව වන ව්‍යවස්ථාව යළි බලගැන්වීමට ප්‍රතිඥාවක් දීමය. හතරවැන්න මේ ක්‍රියාවලිය බලගැන්වීම සඳහා මහජනයාගේ පූර්ණ සහයෝගය ඉල්ලා සිටීමය. මෙහිලා මහජනයාගෙන් ලැබෙන සහයෝගය අතිශයින්ම වැදගත් වෙයි. මහජන සහයෝගයකින් තොරව පවත්නා අර්බුදය ජය ගත නොහැකි බව රාජ්‍ය නායකයා වටහාගෙන තිබේ.

මේ මොහොතේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇත්තේ ප්‍රචණ්ඩත්වය වළක්වා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමය. එහිම තවත් අංශයක් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු පාර්ශ්ව නීතිය හමුවට කැඳවීමය. සාධාරණ සමාජයක් තුළ එය අනිවාර්යයෙන්ම ඉටු විය යුතුය. ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට පහර දී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළ පාර්ශ්වවලට තරාතිරම හා පක්ෂය නොසලකා දඬුවම් දීමට ක්‍රියා කරන බව සඳහන් කරන රාජ්‍ය නායකයා පළමු සිද්ධියෙන් පසු ප්‍රති-ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීමට සහභාගි වූ පාර්ශ්වයන් ද නීතිය හමුවට ගෙන එන බව කියා සිටී. මෙය අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. ප්‍රචණ්ඩ ක්‍රියා කුමන පාර්ශ්වයක් විසින් සිදු කරන ලද්දේ වුව, ඊට නීතිය ක්‍රියාත්මක විය යුතුය.

ගෙවී ගිය මාස තුනකට ආසන්න කාලය දෙස ආපසු හැරී බැලුව හොත් දේශපාලන අවුල ලිහා ගැනීම සඳහා රාජ්‍ය නායකයා අවංක ප්‍රයත්න ගණනාවක් ක්‍රියාත්මක කළ බව අප පිළිගත යුතුය. දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන් අතර පවතින කඹ ඇදීම් නිසා ඒවායින් බහුතරය අසාර්ථක විය. දේශපාලන පක්ෂ හා නායකයන් අර්බුදය විසඳීමට වඩා තම පක්ෂයට තනි බලයක් ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව හා ඊට උපාය මාර්ග සොයන බව දැකගත හැකිය. එහෙත් මෙවර යම් එකඟතාවක් ගොඩනැඟී ඇති බව ද බහුතරයේ කැමැත්ත සහිත අගමැතිවරයකු තෝරා ගත හැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව ද දැනගන්නට ලැබේ. මෙය හොඳ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන්නට නායකයන් පෙලඹිය යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සංවාදය බොහෝ කාලයක සිට පවතින්නකි. 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් වන විටද, ඒ පිළිබඳ දැඩි විවේචන ගොඩනැඟිණි. ආචාර්ය එන්.එම්. පෙරේරා විධායක ජනාධිපති ක්‍රමය හැඳින්වූයේ මෙරට දේශපාලනය මුළුමනින්ම අවුල් කරන සාධකයක් හැටියටය. එහෙත් දේශපාලකයන් මෙන්ම ජනතාව ද එම ක්‍රමයට අනුගත වූ අතර, එය ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය තනතුරක් හැටියට තර්කයක් ද ගොඩනැඟිණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දේශපාලන පොරොන්දු පැවතිය ද ඒවා ඉටු වූයේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලරාමුව තව දුරටත් පුළුල් වන අණ පනත් සම්මත කර ගැනීම සිදු විය. මේ තත්ත්වය මහජනයාගේ අප්‍රසාදයට ලක් වූ අතර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු යනුවෙන් ප්‍රබල හඬක් මේ වන විට කරළියේ පවතී. රාජ්‍ය නායකයා ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර ව්‍යවස්ථානුකූලව එය ඉටු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. මෙය දේශපාලනයේ කදිම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහසකට ඊළඟට අවධානය යොමු කළ යුතුය. මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය පිළිබඳ ගැටලුව සති දෙකක් තුළ විස‍ඳෙන්නේ නැත් නම් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවය. එය තීරණාත්මක අවස්ථාවක් බව කිව යුතුය. මහ බැංකු අධිපතිවරයා සිය තනතුර හැර ගිය හොත් ආර්ථික අර්බුදය යළිත් පටන්ගත් තැනටම කඩා ව‍ැටෙන බව පිළිගත යුතුය. ඒ අනුව පක්ෂ නායකයන් වහා එකඟතාවකට පැමිණ, තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය කල් නොහැර සිදු විය යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ වන විට ඒ පිළිබඳ සුභදායක තත්ත්වයක් වාර්තා වී ඇත. තාවකාලික ආණ්ඩුවේ අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද මහජන විශ්වාසය දිනාගත් පුද්ගලයන්ගෙන් සමන්විත වීම ඉතා වැදගත්ය. කෙසේ වුව ජනාධිපතිවරයා අර්බුදය විසඳා ගැනීමට සුදුසු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහු උපරිම උත්සාහය ගන්නා බව පෙනෙයි. ඊට සහයෝගය දැක්වීම මේ මොහොතේ අප සතු වගකී‍මක් සේ සැලකිය හැකිය.

Read 272 times