Tuesday, 22 October 2024

ලාංකික පවුලකට සිරබත් කවා තමන්ගේ පවුලට ශ්‍රී ලාංකික කෑම කැවූ ඕස්ට්‍රේලියා අගමැති

Posted On Tuesday, 25 August 2020 03:51

ශ්‍රී ලාංකික ආහාර වේලක් පිළියෙළ කරන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අර්බුදයකට මුහුණදී සිටී. පසුගිය සති අන්තයේදී අගමැතිවරයා කැන්බරාහි සිය නිවසේදී ශ්‍රී ලාංකික ක්‍රමයට පිසූ ගෝදම්බ රොටි සහ ව්‍යංජනයක් සමාජජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය.

අගමැතිවරයාගේ බිරිඳ වන ජෙනිෆර් සහ දියණිය වන ඇබී හා ලිලී රැඳී සිටින්නේ මෙල්බර්න් නුවරයි. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මෙල්බර්න් අඟුළුදමා ඇති අතර ඔවුන් වෙනුවන් අගමැතිවරයා සෑම සති අන්තයකම විවිධ ක්‍රමවලට පිළියෙළ කළ ආහාර වර්ග සමාජජාල ඔස්සේ හුවමාරු කර ගනී. අගමැතිවරයා මෙවර සිය ශ්‍රී ලාංකික ආහාර වේල ප්‍රසිද්ධ කිරීමත් සමග බොහෝ පිරිස් එරට රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකික සිව්දෙනකුගෙන් යුත් පවුලට ඕස්ට්‍රේලියානු රජය දක්වන විරෝධය පිළිබඳ කරුණු ඉස්මතු කර ඇත. බොහෝ දෙනා අගමැතිවරයාට චෝදනා කර ඇත්තේ ඔහු ශ්‍රී ලාංකික ආහාර රස විඳින නමුත්, අදාළ සංක්‍රමණික ශ්‍රී ලාංකික පවුලට එම ආහාර රසවිඳීමේ අයිතිය ඕස්ට්‍රේලියානු රජය විසින් අහිමි කර ඇති බවයි.

ප්‍රියන හා නදීස් මුරුගප්පන් යුවල සහ ඔහුගේ දියණියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයේ බිලෝලා නගරයේ වාසය කළ අතර සංක්‍රමණික නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සංක්‍රමණික නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතේ රඳවා තබා ඇත. එරට වාමාංශික දේශපාලන ක්‍රියාකාරිනියක් හා Change org ආයතනයේ අධ්‍යක්ෂ සාලි රග්ස් ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයාගේ රජය මුරුගප්පන් පවුල අත්අඩංගුවට ගත් දිනයේ උදෑසන ඔවුන් සිව්දෙනා ආහාරයට ගනිමින් සිටියේ පරාටා සහ අදාළ මස් ව්‍යංජනය බවයි. එම ප්‍රකාශයට අනුව යමින් ඕස්ට්‍රේලියානු ජාතිකයන් විශාල සංඛ්‍යාවක්ද අදාළ ශ්‍රී ලාංකික පවුල නිදහස් නොකිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අගමැතිවරයාට දෝෂාරෝපණය කර ඇත.