කිසිවක් සිදු වන්නේ නැති අදුරු කාල පරිච්ඡේදයක් තිබු යුගයක තිබු බවත් එයට දොස් නඟමින් සිටිමෙන් ඉදිරියට යා නොහැකි බවත්,එය පැත්තකට දමා රට හදන්නට පටන් ගත යුතු බව නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 02 වැනි බදාදා දින සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.
August 21, 2020
කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරිවරයෙක් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා මහතා පවසයි.
“අද දෙරණ BIG FOCUS“ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මෙ සිද්ධිය ආරම්භ වෙලා තියෙන්නේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ නඩත්තු කටයුත්තක් කිරීමේ දී, ඒ නඩත්තු කටයුත්ත සැහෙන දුරට නිම කරලා. අවසාන කොටස නිම කිරීමේ දී එය බාරව හිටපු විදුලි අධිකාරි මහත්මයාගේ අතින් අත්වැරැද්දක් වෙලා තියෙනවා. ඒ අත්වැරැද්ද හේතුවන්. අපි ඒකට කියනවා “අර්ත්“ වෙනවා කියලා. “අර්ත්“ වීම නිසා ෆෝට් එකක් ඇතිවෙලා. ඒ දෝෂය නිසා හටගත්තු ප්‍රතිඵයක් ලෙස අවසානයේ දී නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය ඒ වෙන විට ක්‍රියාකරමින් තිබූ විදුලි ජනන යන්ත්‍ර තුන විසන්ධිවෙලා තියෙනවා. තුනම එකපාර නෙමෙයි යම් කාලයත් තුළ පද්ධතියෙන් විසන්දි වෙලා තියෙනවා.“ යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
“මේ සිද්ධිය වුණේ දවල් 12.30ට විතර, සාමාන්‍යයෙන් සතියේ දිනක දවල් 12.30 වන විට පද්ධතියේ විදුලි ඉල්ලුම තියෙනවා මෙගා වොට් 2100-2200 වගේ. සමහර දිනවල ඊට වැඩිවෙන්ත් පුළුවන්. ඒ ඉල්ලුම සමග බලනවිට නොරොච්චෝලයෙන් 810යි, ඒ වෙනකොට මුලින් දෝෂය ඇති වුණ කෙරවලපිටිය උප පොළෙන් මෙගා වොට් 135ක් පමණ පද්ධතියට සම්බන්ධවෙලා තිබුණා. ඒත් සමග විශාල ප්‍රමාණයකට විදුලි ඉල්ලුම සපයන්න බැරි වෙලා තියෙනවා. එහෙම වුණාම පද්ධතියේ ලොකු අසමතුලිත තත්ත්වයක් ඇති වුණා.“ යැයි ඒ මහතා සඳහන් කළේය.
“නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ ක්‍රියා විරහිත වුණාම නැවත පණගන්වන්නට ඕනේ. එලෙස පණගැන්වීම සාමාන්‍යයෙන් එම බොයිලේරුවේ උෂ්ණත්වය පන්සිය ගණනකට වැඩි වෙනවා. එකක් නැවැත් වූ විට උෂ්නත්වය පහළ බහින්නේ නැහැ. එහි උෂ්නත්වය ස්වාභාවිකව අඩුවන තුරු සිටිය යුතුයි. බොයිලේරුවට වතුර පුරවලා ඒ ක්‍රියාවලිය පටන්ගන්න, එය සිහිල් වෙන කාලය තමයි දවස් තුන හතරක් ගතවෙන්නේ. යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර පසුගිය දා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් රුපියල් කෝටි 100ක පමණ අලාභයක් ආර්ථිකයට සිදුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ
මහින්ද අලුත්ගෙදර...
ගෙවීගිය මාස 9ක කාලයේදී විවිධ බාධක හමුවේ රට පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් රටේ ජනතාව පැහැදීමෙන් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශාල ජනවරමෙන් ඔප්පු වී තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
දේශපාලන සංස්කෘතියේ සිදුවෙමින් පවතින වෙනස ජනතාව අගය කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා ජනතාව මේසා විශාල ජනවරමක් රජයට ලබාදුන්නේ කුමන අපේක්ෂා පෙරදැරි කරගෙන ද යන්න සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන බවද මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂා බිඳවැටෙන ආකාරයට කටයුතු නොකරන බවද පැවසීය.
ජනාධිපතිවරයා ඊයේ (20) මේ බව සඳහන් කළේ නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය විවෘත කර ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කරමිනි.
එහිදී වැඩිදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.
අගෝස්තු 5 වැනිදා පැවැත්වුණේ, ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී පෙරැළියක් සිදු වූ මැතිවරණයක්. ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 2/3 ක බලයක් ලබාදෙන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටියා. ඉතිහාසයේ ප්‍රථම වතාවට, සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලද මැතිවරණයකින් 2/3ක ඓතිහාසික ජනවරමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එහි මිත්‍ර කණ්ඩායම්වලට ලබාදුන් දේශප්‍රේමී ජනතාවට මම මුලින්ම ස්තූති කරනවා. සර්වජන ඡන්ද බලය අප සැමදෙනා විසින් ගරු කළ යුතු හා අප විසින් රැකගත යුතු, ප්රජාතන්ත්රවාදී අයිතියක්. ඒ නිසා මේ මැතිවරණයේ දී තම වටිනා ඡන්දය භාවිත කළ සියලුම ශ්‍රී ලාංකික ඡන්ද දායකයන්ටත් මම මේ අවස්ථාවේ ස්තූතිය පුද කරනවා.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ දි 69 ලක්ෂයකට අධික ජනතාවක් සුවිශේෂී ජනවරමක් ලබාදුන්නේ මා ගැන තැබූ මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කඩ නොකරන බවට මා දුන් පොරොන්දුව මෙතෙක් මා ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා. ජනාධිපතිවරණයේ සිට පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වූ කාලය, අපට ඉතාමත් අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වුණා. අප බාර ගත්තේ කඩාවැටී තිබූ ආර්ථිකයක්. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති නිසා අපට වැඩ කරන්න සිදු වුණේ සුළුතර ආණ්ඩුවක් සමඟ. මීට අමතරව, අපට මේ කාලයේ මුළු ලෝකයම අඩපණ කළ කොවිඩ්-19 වසංගතයටත් මුහුණ දෙන්න සිදු වුණා. කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ලෝකයේ ප්‍රබල රටවල් පවා අසරණ වෙද්දී, එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපට පුළුවන් වුණා. වසංගත තත්ත්වයක් පැතිරයාම වැළැක්වීමට අප කටයුතු කළ ආකාරය විදේශ රටවල පවා ප්‍රසාදයට ලක් වුණා.
මේ මාස 9 ක කාල පරාසයේ විවිධ බාධක හමුවේ අප විසින් රට පාලනය කළ ආකාරය ගැන රටේ ජනතාව පැහැදීමෙන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශාල ජනවරමෙන් ඔප්පු වුණා. දේශපාලන සංස්කෘතියේ සිදුවෙමින් පවතින වෙනස ජනතාව අගය කරමින් සිටිනවා. ජනතා නියෝජිතයන් ලෙස, බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අප හැමවිටම ගරු කරනවා. ජනතා පරමාධිපත්‍යය සුරකින්න පුළුවන් වන්නේ එවිටයි. අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලයේ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට, පෝෂණය කරන බවටත් මා පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලබාගැනීමට මම ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක සභාවක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, අපේ බෞද්ධ උරුමය රැකගැනීමටත් මම විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙනවා.
බුද්ධාගමට ප්‍රමුඛත්වය තහවුරු කරන අතරම, මේ රටේ ඕනෑම පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වඩාත් හොඳින් සුරක්ෂිත වී ඇති බව ජනතාවට මේ වනවිට පැහැදිලියි. පාරම්පරික උරුමය, සංස්කෘතිය හා අපේකම ආරක්ෂා කිරීමට මෙන්ම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ආරක්ෂා කොට, ප්‍රවර්ධනය කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. 2019 වසරේ සිදූ වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා, අප රජය භාරගන්නා විට ජනතාව අතර රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී තිබුණා. අපේ රජයේ මූලික ප්‍රතිපත්තිය වන රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කොට ජනතාව තුළ ඇතිවී තිබුණ බිය නැති කොට රටේ ආරක්ෂාව යළි සුරක්ෂිත කරන්න අප කටයුතු කර තිබෙනවා. ඕනෑම පුරවැසියකුට තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාව ගැන බිය නොවී නිදහසේ ජීවත් වියහැකි වටපිටාවක් අප යළි ලබා දී තිබෙනවා.
මා පොරොන්දු වූ ආකාරයටම, සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක්ව තිබුණ පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව තිබීමත් ජනතා විශ්වාසය ඉහළ යාමට හේතු වී තිබෙනවා. මේ නිසා ගුණගරුක, විනයගරුක, නීතිගරුක සමාජයක් රටේ ගොඩනැඟෙමින් තිබෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසක් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත්කිරීම සඳහා එතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින්, විද්වත් මණ්ඩලයක් හරහා සුදුසුකම් සොයාබලා පත්වීම් සිදුකරන විධිමත් යන්ත්‍රණයක් හඳුන්වා දුන්නා. ඥාතීන්, හිතවතුන්, මිත්‍රයන් හා අනුගාමිකයන් පත් නොකොට වෘත්තිකයන්, ව්‍යවසායකයන් අධ්‍යාපනඥයන්ගෙන් සමන්විත පළපුරුදු කණ්ඩායමක් පත් කළා. ඒ ප්‍රතිපත්තිය ඉදිරියටම ගෙන යනවා.
ඒ වගේම අප නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමට කටයුතු කළා. වී ගොවියන්ට තම නිෂ්පාදන සඳහා ඉහළ සහතික මිලක් ලබා දුන්නා. අපනයන භෝග ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කිරීම නැවැත්වීම මෙන්ම මෙරට වගාකළ හැකිව තිබූ භෝග ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම මගින් දේශීය ගොවියා ආරක්ෂා කිරීමට අප කටයුතු කළා. ගොවියන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දුන්නා. රට පුරා අතහැර දමා තිබූ වගා ඉඩම් යළි අස්වද්දන්න ජනතාව උනන්දු කළා. මේ සියල්ල හරහා අප මේ රටේ කෘෂිකර්මාන්තයට නව පණක් ලබාදුන්නා. අප බලයට ආවාට පසු දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන ලබාදීමට කටයුතු කළා. ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා පොලී අනුපාත අඩු කළා. දේශීය ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සඳහා තරගකාරී ආනයන සීමා කළා. මේ මැතිවරණයේ දී ජනතාව දැඩි උද්යෝගයකින් අපට සහාය ලබාදුන්නේ මේ ආකාරයට අප සම්බන්ධයෙන් ඔවුන් තුළ ගොඩනැඟී ඇති විශ්වාසය නිසා බව පැහැදිලියි. අප ඒ විශ්වාසය තහවුරු වන ආකාරයට දිගටම ජනතාවට සේවය කරනවා.
ජනතාව දුන් ජනවරම නිවැරැදිව අර්ථකථනය කරගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. මා කෙරෙහිත්, අගමැති ඇතුළු අභිනවයෙන් පත්වී සිටින ජනතා නියෝජිතයන් කෙරෙහිත් ජනතාව තැබු විශ්වාසයට අප ගරු කරනවා. ජනතාව මේසා විශාල ජනවරමක් රජයට ලබාදුන්නේ කුමන අපේක්ෂා පෙරදැරි කරගෙනද යන්න ගැන අපට අවබෝධයක් තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් ඒ අපේක්ෂා බිඳවැටෙන ආකාරයට අප කටයුතු කරන්නේ නැහැ. ජනතා ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයකුගේ මූලික වගකීම ජනතා සේවය බව හැම විටම මතක තබාගත යුතුයි. මේ සියලු තනතුරු, වරප්‍රසාද නොව වගකීම් බව මතක තබාගෙන ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට සංවේදී වෙනවා. මම මේ මැතිවරණයේ දී අප කණ්ඩායම නියෝජනය කළ සෑම අපේක්ෂකයකුටම සහාය දීමට රට පුරා සංචාරය කළා. දේශපාලන රැස්වීම් පවත්වනවා වෙනුවට මේ සංචාරවල දී මම ජනතාව අතරට ගොස් ඍජුවම ඔවුන්ගේ ගැටලුවලට සවන් දුන්නා.
ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් අතිබහුතරය පෞද්ගලික අවශ්‍යතා නොව පොදු අවශ්‍යතායි. නිදහසින් වසර 72කට පසුවත් ජනතාවගේ බොහෝ සරල අවශ්‍යතාවන්ට විසඳුම් ලැබී නැහැ. වසර ගණනාවක් පුරා තමන් ජීවත් වූ ඉඩම්වලට නිසි අයිතියක් නැති ජනතාවක් සිටිනවා. ඔවුන්ට අප නිසි ක්‍රමවේදයකට ඔප්පු ලබා දෙනවා. නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ. අලි මිනිස් ගැටුම අද විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ ගැන විසඳුමක් සෙවීමට දැනටමත් විද්වත් මණ්ඩලයක් පත්කර තිබෙනවා. මේ විෂය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ තිරසාර විසඳුමක අවශ්‍යතාව නිසයි. විශ්වාස කළ නොහැකි තරම් ඉහළ ජන ප්‍රතිශතයක් රට පුරා පානීය ජලය නොමැතිව දුක් විඳිනවා. අප මේ මානුෂික ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නවා. ජාතික ප්‍රතිපත්තියක් ලෙස ඉදිරි වසර කිහිපයේ රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදීම සඳහා අප විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා.
මව්පියන් ඉල්ලා සිටින්නේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න සුදුසු පාසල් ලබා දෙන ලෙසයි. ප්‍රමාණවත් තරම් ජාතික පාසල් නැතිකම හැම තැනකදීම පෙනී ගියා. බොහෝ පාසල්වල විශාල අඩුපාඩුකම් තිබෙනවා. ගුරු හිඟය මෙන්ම ප්‍රමාණවත් තරම් විද්‍යාගාර, පුස්තකාල හා ක්‍රීඩා පහසුකම් නැතිකම නිතර අසන්න ලැබෙනවා. ආර්ථිකයට ඵලදායී දායකත්වයක් ලබාදීම සඳහා විද්‍යා හා තාක්ෂණික විෂයන් හදාරන ලෙස අප දරුවන්ට කීවත් ඒ සඳහා මූලික පහසුකම්වත් බොහෝ පාසල්වල නැහැ. මේ රටේ සෑම දරුවකුටම තමන් අපේක්ෂා කරන අනාගතය ගොඩනඟාගැනීම සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික දැනුම ලබාගැනීමටත්, ඔවුන්ගේ නිපුණතා වර්ධනයට උපකාර කිරීමටත් රජය දරන වියදම අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. අලුතින් වගකීම් පවරා ඇති අමාත්‍යාංශ හරහා අප මේ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙනවා.
ග්‍රාමීය රෝහල්වල සම්පත් හා පහසුකම් ඉතා අඩුයි. වෛද්‍යවරුන්, හෙදියන් හා අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලවල විශාල ඌනතාවක් තිබෙනවා. සමහර ප්‍රදේශවල රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ දුරක් ගමන් කරන්න සිදුවෙනවා. නිදහස් සෞඛ්‍ය සේවාවන් ජනතාවට ලබාදීමේදී පවතින මේ විෂමතා අප ඉවත් කරනවා. ආයුර්වේදය හා දේශීය වෙදකම දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. විශාල විදේශ විනිමයක් වැයකොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරටදීම නිෂ්පාදනය කිරීම අප ආරම්භ කර තිබෙනවා. ඖෂධ ආනයනයේ දී සිදු වන අතිමහත් දූෂණ ක්‍රියා තුරන් කිරීමට කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළේ ඒ සඳහායි. මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් අදත් ජීවත් වන්නේ ස්වයං රැකියා කිරීමෙනුයි. තව බොහෝ දෙනෙක් යැපෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් ඉල්ලා සිටින්නේ නිසි කලට වතුර හා පොහොර ලබාදෙන ලෙසයි. මේ ඉල්ලීම් ඉටුකළ යුතුයි. ඒ අනුව රට පුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට හා වාරිමාර්ග සංවර්ධනයට පුළුල් වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා.
රැකියා වියුක්තිය අද තරුණ පරපුර මුහුණ දෙන බරපතළ සමාජ ගැටලුවක්. මේ ගැටලුව විසඳීම සඳහා අප කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. අප මේ වන විටත් රටේ ජීවත්වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබාදීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව උපාධිධාරීන් පනස්දහසකට රැකියා ලබාදීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමටත් කටයුතු යොදා තිබෙනවා. රජයේ රැකියා ලබාදීමේ දී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දෙන්න කටයුතු කරනවා. එමෙන්ම රැකියා අවස්ථා ලබාදීමේ දී සෑම පළාතකටම සම අවස්ථා හිමි වන ආකාරයට එය ක්‍රියාත්මක කළ යුතුයි. රජයේ පත්වීමක් ලබන සෑම කෙනෙකුගෙන්ම රටට ඵලදායී සේවාවක් ඉටු විය යුතුයි. ඒ නිසා කිසිදු අමාත්‍යාංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල බඳවා ගන්නේ නැහැ. සෑම අමාත්‍යාංශයකම හා රාජ්‍ය අමාත්‍යංශයකම ඒ ඒ ක්ෂේත්රවල පෞද්ගලික අංශයේ සහායත් ඇතුව රැකියාවන් උත්පාදනයට ක්‍රියා කරනවා.
ඒ වගේම අදාළ ක්ෂේත්රයන්හි ස්වයං රැකියා ප්‍රවර්ධනයටත් ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත් කටයුතු කරනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ රැකියා බෙදාදීම නොව නව රැකියා උත්පාදනයයි. දේශීය හා ගෝලීය අභියෝග ජයගෙන ආර්ථික පුනර්ජීවනය උදාකරගැනීමට නම්, අප අලුතෙන් සිතන්නට පුරුදු විය යුතුයි. මෙවර අමාත්‍යාශ වෙන් කොට තිබෙන්නේ එම අරමුණ පෙරදැරි කරගෙනයි. සැබෑ ආර්ථික පුනර්ජීවනයක් සඳහා ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක අවශ්‍යතාව අප හඳුනාගෙන තිබෙනවා. අමාත්‍යාංශ වෙන් කිරීමේ දී සහ ඒවාට විෂයයන් හා කාර්යයන් පැවරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත හා පාරම්පරික කර්මාන්ත සහ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කළා. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම අපනයන ආදායම වැඩිකර ගැනීමත් අපේ මූලික ඉලක්ක වෙනවා. මේ වනවිට අපේ අපනයන වැවිලි භෝග වන තේ, පොල්, රබර්වලින් ලැබෙන ආදායම සතුටුදායක මට්ටමක නැහැ.
‘තේ’ වගාව දියුණු කිරීමට කටයුතු කරන අතරම කුඩා සහ මධ්‍ය තේවතු හිමියන්ට රජය උදව් කරනවා. වැසී ගොස් ඇති තේ කර්මාන්තශාලා නිසා ඔවුන් විශාල අපහසුතාවකට පත්වී සිටිනවා. ඒවා නැවත ආරම්භ කිරීමට ක්‍රියාකරන අතර අක්‍රමිකතා තුරන්කොට ඉහළ ප්‍රමිතියකින් යුතු තේ අපනයනය දිරිමත් කරනවා. CEYLON TEA සන්නාමයට තිබුණු පිළිගැනීම ශක්තිමත් කරනවා. පොල් අලුතින් වගා කිරීමට දිරි දෙනවා. රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිපදවන රබර් භාවිත කිරීමට, රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරනවා. කටුපොල් වගාව අප සම්පූර්ණයෙන්ම නතර කරනවා. ගම්මිරිස්, කුරුඳු වැනි අපනයන භෝග නිෂ්පාදනය අප දිරිගන්වනවා. කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම හරහා ගොවියාට ස්ථාවර මිලක් ලබාදෙන අතර එමගින් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කරනවා. අමාත්‍යාංශවලට වගකීම් පැවරීමේ දී, නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට හා ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් සෙවීමට විශේෂ අවධානයක් යොමු කළා.
රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන ඒවාට වගකියන රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමටත්, ඔවුන් වෙත අදාළ විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. මානව සම්පත් සංවර්ධනය අප ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙන නිසා අමාත්‍යාංශ නම් කිරීමේ දී අධ්‍යාපන විෂය එක් අමාත්‍යාංශයක් යටතට ගෙන එහි වෙනස් වගකීම් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 4 දෙනෙකු නම් කරනු ලැබූවා. පෙරපාසල්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, නිපුණතා සංවර්ධනය මෙන්ම දහම් පාසල් හා භික්ෂු අධ්‍යාපනයට වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවා තිබෙන්නේ ඒවායේ ඇති වැදගත්කම නිසයි. අපේ අනාගත ඉලක්ක සපුරා ගැනීමේ දී තාක්ෂණික අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමු විය යුතුයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී අප විශේෂයෙන් සැලකිලිමත් වෙනවා.
උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා. එතැනින් නොනැවතී විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් කටයුතු කරනවා. විෂය මාලාවන් නවීකරණය කොට මේ උපාධි, ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයයන් බවට තහවුරු කරනවා. විදුලි මිල රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී බලපාන වැදගත් සාධකයක්. ඒ නිසා පුනර්ජනනීය බලශක්ති උත්පාදන මාර්ග ප්‍රවර්ධනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙනවා. අගය එකතුකිරීම සඳහා නව තාක්ෂණය භාවිතයටත්, නවෝත්පාදන දිරිගැන්වීමටත්, නිර්මාණශීලි ලෙස නව වෙළෙඳපොළ සොයා යාමට ව්‍යාපාරිකයන්ට සහාය වීමටත් අදාළ අමාත්‍යාංශවල අවධානය යොමු කරනවා. අපේ රට ස්වාභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවත් අගය වැඩි කිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. මැණික්, ඛනිජවැලි වැනි ස්වාභාවික සම්පත් අපනයනය කිරීමේ දී අගය එකතු කිරීමෙන් රටට විශාල විදේශ විනිමයක් ලබා ගැනීමට ක්‍රියා කරනවා.
අපේ පාරම්පරික කර්මාන්ත වන බතික්, දේශීය ඇඟලුම්, පිත්තල, වේවැල්, මැටි, ලී බඩු, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත නිසියාකාරව දියුණු කිරීමෙන් ස්වයං රැකියා ප්‍රවර්ධනය, නව රැකියා උත්පාදනය මෙන්ම ව්‍යාපාර ගොඩනංවා විශාල විදේශ විනිමයකුත් රටට ලබාගැනීමට අවස්ථාව සලසනවා. රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි.
රාජ්‍ය සේවයෙන් තමන් බලාපොරොත්තු වන සේවාව කාර්යක්ෂමව සහ නිසි අයුරින් නොලැබෙන බවට මහජනතාව අතර චෝදනාවක් පවතිනවා. ඒ නිසා ඔබ යටතේ තිබෙන සෑම අමාත්‍යාංශයක්, දෙපාර්තමේන්තුවක් හා ආයතනයක් විසින් ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂමව සහ කඩිනමින් ලබාදෙන ලෙස අමාත්‍යවරුන්ගෙන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
ජනතාවට හෝ රජයට කිසිදු අගයක් එක් නොකරන සමහර ආයතනික ක්‍රියාවලියන්ගෙන් සිදු වන්නේ කාලය නාස්තිවීම පමණක් බව මම පසුගිය කාලයේ විවිධ රාජ්‍ය ආයතනයන්ට ගිය අවස්ථාවල දුටුවා. ජනතාවට සේවාවන් ලබාදීමේ දී අනුගමනය කරන සම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට ආයතනික ක්‍රියාවලීන් කාර්යක්ෂම කොට ජනතාවට පහසුවෙන් හා කඩිනමින් සේවා ලබාදීම සඳහා නව ක්‍රමවේද ඔබ හඳුනා ගත යුතුයි. You need to re-engineer the processes for greater productivity and customer satisfaction. මේ සඳහා හැකිතාක් දුරට නව තාක්ෂණික විසඳුම් සොයා ගත යුතුයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් නාස්තිය හා දූෂණය පිටු දකින බව අප ජනතාවට පොරොන්දු වුණා. මෙය අප සියලු දෙනාගේම ප්‍රමුඛ වගකීමක්. සියලු අමාත්‍යාංශ හා ආයතනවල නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනවා. ඉදිරියේ දී නාස්තියට, දූෂණයට සම්බන්ධ වන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට මම පසුබට වන්නේ නැහැ.
ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිත භාවය හා ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. ව්‍යවස්ථාවේ වෙනසක් සඳහා අප ඉල්ලු ජනවරම ජනතාව අපට ලබා දී තිබෙන නිසා අපගේ පළමු කාර්යය ලෙස අප ජනතාවට පොරොන්දු වූ පරිදිම, 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට කටයුතු කරනවා. ඉන්පසු සියලු දෙනා සමඟ එක්ව රටට අවශ්‍ය සහ ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එනවා. මෙහිදී මේ රටේ සියලූම ජනතාව සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පයට මූලිකත්වයක් දෙනවා.
පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි, අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත් වන, අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමේ දී වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවර භාවයද, ජනතාවගේ ඍජු නියෝජනය ද තහවුරු වන ලෙස මේ වෙනස්කම් සිදු කරනවා. මම මගේ රටට ආදරය කරනවා, මම මගේ රට ගැන ආඩම්බර වෙනවා, මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අපේ අරමුණ වන්නේ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, ගුණගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමයි. මේ දක්වා අප විසින් කරන ලද සියලු දේ මෙන්ම, මින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ගයන් ද සැලසුම් කරනු ලබන්නේ මේ අරමුණ පෙරදැරි කරගෙනයි.
අප ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. ජනතාව වත්මන් රජයට විශාල ජනවරමක් ලබා දී තිබෙනවා. කිසිදු බලවේගයකට යටත් නොවී මේ රටේ ස්වෛරීත්වය රැකගෙන ජනතාව ආරක්ෂා කරගෙන රට සෞභාග්‍යය කරා ගෙනයාමට අපට වගකීමක් පැවරී තිබෙනවා. රටේ අනාගත පරපුර වෙනුවෙන් වත්මන් පරපුර ඒ වගකීම ඉටුකළ යුතුයි. මේ අප සියලුදෙනාගේම මවුබිමයි. ඒ නිසා ජාති, ආගම්, පක්ෂ බේදයකින් තොරව අප සියලු දෙනාම රට වෙනුවෙන් එක්විය යුතු අවස්ථාවක් පැමිණ තිබෙනවා. ජනතාවට අප පොරොන්දු වූ සෞභාග්‍යමත් දේශය ගොඩනැගීම සඳහා මා සමඟ එකතු වන ලෙස ඔබ සියලුදෙනාටම මා මිත්‍රත්වයේ දෑත් දිගුකොට ආරාධනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
පාර්ලිමේන්තුව අද (21)
පෙරවරු 9.30ට යළි රැස්වීමට නියමිතයි.
කටු පොල් වගාව
සම්පූර්ණයෙන්ම
නතර කරනවා
වසර ගණනාවක් ජීවත් වූ
ඉඩම්වලට නිසි ක්‍රමවේදයකින්
ඔප්පු ලබා දෙනවා
ජාතික ප්‍රතිපත්තියක් ලෙස
සෑම ප්‍රදේශයකටම
පානීය ජලය සපයනවා
සෙව්මිණි දිව්‍යාංජලී වන මා බප/ජය සේදවත්ත සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමි. මගේ තාත්තා 1996 අවුරුද්දේ යුද හමුදාවට බැඳුණේ රූපවාහිනියේ ත්රස්තවාදීන් අහිංසක මිනිසුන්ව කපා මරා දමනවා දැකලයි. තාත්තා හමුදාවට උස මදි නිසා කොළඹ හමුදා කඳවුරෙන් තාත්තාව හරවා එවලා තිබුණා. ඊට පසු තාත්තා අනුරාධපුරයෙන් හමුදාවට බැඳුණාලු. මගේ තාත්තාගේ උස අඩි 4 අඟල් 10 යි. මාගේ තාත්තාගේ ක්‍රීඩා සහතික බලලා බඳවා ගත්තාලු.
මගේ තාත්තා තමයි ලංකාවේ සොල්දාදු පුහුණුව අවසන් වෙලා යාපනයට ගිය උස අඩුම පුද්ගලයා. යාපනයේ අවුරුද්දක් විතර නිවාඩු නැතුව සේවය කරලා ගෙදර එනවිට තාත්තාගේ අම්මාට (මගේ ආච්චිට) තාත්තා ගැන බයවෙලා පිස්සු හැදිලා අංගොඩ මානසික රෝහලේ නැවැත්තුවා. ඒ වෙලාවේ හෙදි නැන්දා කෙනෙක් කියලා තියෙනවා අම්මාව හොඳ කරලා ගෙදර එක්ක යන්න හැබැයි තාත්තාට ගෙදර ඉන්න වෙනවා කියලා. ඉතිං තාත්තා නැවත යාපනයට ගිහින් නැහැ. නැවත තාත්තා ත්‍රීවිල් රස්සාවම කළා.
දවසක් කොළඹ කොටුවේදී තාත්තාගේ ත්‍රීවිල් එකට ඉස්සරහින් ගිය ත්‍රීවිල් එකට කකුලක් නැති හමුදා නිලධාරියෙක් නවත්තලා හයර් එකක් යන්න කතා කරලා. ඒ රියැදුරා වැඩි මුදලක් ඉල්ලලා. ඒ හමුදා සෙබළා යන්න ඕනෙ නැහැ කියලා. ඊටපස්සේ පිටුපසින් සිටි මගේ තාත්තා සල්ලි ඕන නැහැ කියලා ඔහු රැගෙන ගිහින් බැස්සුවාලු.
එදා තාත්තා ගෙදර ඇවිත් චිත්‍ර අඳින කෙනකුට කියලා "ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ ආබාධිත රණවිරුවන් ප්‍රවාහනය නොමිලේ" කියලා ලියවා ගත්තාලු. මගේ තාත්තා තමයි මුලින්ම ඒ දේ කළේ. මගේ තාත්තා ත්‍රීවිල් රස්සාව කරන්න පටන් අරන් අවුරුදු 26ක් විතර වෙනවා. තවම මගේ තාත්තා පාරේ අනතුරක් දැකලා නැහැ. මගේ තාත්තා මිනිසුන්ට හරිම ආදරෙයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කුරිරු යුද්ධය අවසන් කළ නිසා තාත්තා එතුමාට සලකන්නේ දෙවි කෙනකුට වගේ. 2015 ජනාධිපතිවරණයට කලින් තාත්තා හීනෙන් දැකලා තියෙනවා මහින්ද මහත්තයා පරදිනවා. මගේ තාත්තා මහින්ද මහත්තයාව දිනවන්න හයර් යන මිනිස්සුන්ට යුද්ධය සිහිකර කතා කරලා තියෙනවා.
2014.12.21 වෙනිදා උදේ මගේ තාත්තා දකුණු අතේ ඇඟිල්ලක් කපා බෞද්ධාලෝක මාවතේ රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට එල්ලුවා. මිනිසුන්ට කුරිරු යුද්ධය සිහිපත් කොට ජනාධිපති මහින්ද මහත්තයාට සුබ පැතුවාලු.
මේ Covid 19 වයිරසය ගැනත් තාත්තා සිහිනයක් දැකලා බෝධීන් වහන්සේ ළඟ පහනක් පත්තු කරලා තිබෙනවා. පසුදා තාත්තා අසල්වාසීන් හැමෝම එකතු කරගෙන පහන් 200ක් විතර පත්තු කළා. ලංකාවේ කොරෝනා වයිරසය වෙනුවෙන් පළමුව පහනක් දැල්වූයේ මගේ තාත්තායි.
එහෙත් මගේ තාත්තා හීනෙන් දැක්කේ බෝධියක් ළඟ පහනක් පත්තු කරනවා. නාවික හමුදාවේ අය ලෙඩ වෙනකොට ජය සිරිමා බෝධීන් වහන්සේ ළඟ පහනක් දල්වා නාවික හමුදාවේ අයගේ ජීවිත රැකදෙන්න කියා ඉල්ලන්න තාත්තාට හිතුනාලු.
මගේ තාත්තා මැයි මාසයේ 11 වෙනිදා අසල්වාසී අයියා කෙනෙක්ගේ බයිසිකලයක් ඉල්ලාගෙන ඇඳිරිනීතිය තියෙද්දී අනුරාධපුරයට ගියා. අපි බයෙන් හිටියේ තාත්තාට කරදරයක් වෙයිද කියලා. තාත්තා මම දන්න කාලෙක බයිසිකලයක් පැදලා නැහැ. නමුත් තාත්තා ගෙදරින් යන වෙලාවේ කිව්වා “චූටි දුව මනුස්සයො වෙනුවෙන් හොඳ දෙයක් කරන විට බයවෙන්න එපා කියලා.” මම දවස් 4 න් එනවා කිසිම කරදරයක් නැතුව ගෙදර එනවා කියලා. ඒ වගේම 14 වෙනිදා හවස තාත්තා ගෙදර ආවා. දවස් 4 ක්ම මගේ තාත්තට කෑමට බත් නැහැ. තේ ටිකක් නෑ. බීම විතරයි බීලා තියෙන්නේ.
රාත්‍රී කාලයේ ඉඳලා තියෙන්නේ පාළු තැන්වල. ඉතිං මගේ තාත්තා මිනිසුන් වෙනුවෙන් හැම දුකක්ම විඳපු කෙනෙක්. සමහර අය තාත්තාට බනිනවා පිස්සු වැඩ කරනවා කියලා. නමුත් මගේ තාත්තා මට වීරයෙක්.
අද මගේ තාත්තා ගොඩක් අසරණ වී සිටින්නේ. මගේ තාත්තාගේ ත්‍රීවිල් එක මාර්තු මාසයේ ෆිනෑන්ස් එකෙන් අරන් ගිහින් තාත්තාට දැන් රස්සාවකුත්නැහැ. අපිට දැන් ජීවත්වීමට අමාරුයි. මගේ තාත්තාට උදව්වක් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
සෙව්මිණි දිව්‍යාංජලී
බප/ජය සේදවත්ත සිද්ධාර්ථ
මධ්‍ය මහා විද්‍යාලය
දිනමිණ