හම්බන්තොට අක්කර 200ක වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිගු බීජ නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙළක්
හම්බන්තොට අක්කර 200ක වගා කිරීම සඳහා අවශ්‍ය බඩ ඉරිගු බීජ නොමිලේ ලබා දීමේ වැඩ පිළිවෙළක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 200ක බඩඉරිගු වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත.
2022 වසරේ අත්ලාන්තික් සාගරය හරහා පෙර ලෙසටම ගමන් ඇරඹීමට නියමිත TITANIC II නෞකාව
Written by Editorවයිට් ස්ටාර් ලයින් නැව් සමාගම 1912 නිපැයූ ඓතිහාසික ඛේදවාචකයට මුල්වූ ලොව අපූර්වතම නෞකාව ටයිටැනික් නැවතත් පුනරුප්පත්තිය ලබන්නටයි සුදානම. වසර 107කට පෙර අත්ලාන්තික් සාගර පත්ලේ ගිලීගිය මුල් නැව හා සර්ව සම ටයිටැනික් 2 නමින් හඳුන්වන අලුත් නැව බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමේ නිපැයුමක් ලෙස කලඑළි බසින්නකි. පුරාවෘත්තයක් බවට පත්වූ නොගිලෙන නැව ලෙස පුරසාරමට ලක්වූ ටයිටැනික් නැව ගැන ඉදිරිපත් වූ මතයක් වුණේ මේ කාලයේ එය හදන්නට ගියොත් අඩුම තරමේ ඩොලර් මිලියන 400ක්වත් වැයවන බවය. ඒ නිසා එය නැවත තැනෙන්නට ඉඩක් නැති අතීතයට අයත් පුරාවෘත්තයක් වනු ඇති බවය. එනමුත් 1997දී මුල් ඛේදවාචකය ගැන හැදූ ටයිටැනික් චිත්‍රපටිය, මේ වෙද්දී ඩොලර් බිලියන 1.84කට වඩා මුදලක් උපයා ඇති නිසා ඕනෑනම් ඒ මුදලින් ටයිටැනික් නැව් එකට පහක් හදන්න පුළුවන් බවට අදහසක්ද ඉදිරිපත්ව තිබුණා. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මේ අදහස යථාර්ථයක් බවට පත් කරන්නට දැන් වැඩ අරඹා හමාරයි.
බ්ලූ ස්ටාර් ලයින් නම් ඕස්ට්‍රේලියානු නැව් සමාගමට අයත් මේ කියන අලුත් ටයිටැනික් II යාත්‍රාව 2022 දී ගමන් ආරම්භ කිරීමටයි නියමිත. මුල් නැවට ගෞරව කිරීමක් වශයෙන් එය ගමන් කළ ගමන් මාර්ගයේම අලුත් නැවත් හා..හා... පුරා කියා ගමන් කරවීමටයි නැව් සමාගම තීරණය කර තිබෙන්නේ. 1912 දී සිය මංගල ගමන සවුතැම්ප්ටන් හා නිව්යෝර්ක් නගර අතර සිදු කිරීමේදී මුල් නැව අයිස් කන්දක වැදීමෙන් මුහුදුබත්ව ගියේ ලෝක ඉතිහාසයේ සදා නොමැකෙන කඳුළු සටහනක් තබමිනුයි.
RMS Titanic නෞකා අනතුර ඉතිහාසයේ සිදුවූ දරුණුම නාවික අනතුර වශයෙන් සැලකෙනවා. එවකට ලෝකයේ ඉහළම ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවා තිබූ විශාලතම චලනය වන වස්තුව (Largest moving object ever built) වූයේද Titanic නැවයි. කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) ලෙස සැලකුණු Titanic නෞකාව සිය ප්‍රථම ගමනේදීම උතුරු අත්ලාන්තික් සාගරයේදී විශාල පාවෙන අයිස් පර්වතයක ගැටීමෙන් සමස්ත ලෝකමය කම්පාවට පත්කරමින් මුහුදුබත් වූණා.
එවකට විශාලතම නෞකාව ලෙස ලෝ සුපතල වූ නෞකාව අඩි 900 ක් දිගින් සහ මහල් 25ක උසකින් ද යුක්ත වුණා. යුගයේ හොඳම තාක්ෂණය උපයෝගී කරගෙන නිපදවූ Titanic ටොන් 46000 ක ඇදහිය නොහැකි ස්කන්ධයකින්ද සමන්විත වුණා. විශේෂතම කරැණ නම් මෙය සැලකුණේ කිසිදා නොගිලෙන නෞකාවක් (An unsinkable ship) වශයෙන් වීමයි. ඊට හේතුවක් තිබුණා. සාගරයේදී සිදුවිය හැකි දරුණුම අනතුර වන්නේ නෞකා 2 ක් එකිනෙක ගැටීමයි. එවැනි අනතුරකට මුහුණ දුන්නත් Titanic නැව මුහුදේ දින 2- 3 ක් සුරක්ෂිතව පාවෙමින් තිබෙන ආකාරයටයි නැව නිර්මාණය කර තිබුණේ. සාමාන්‍යයෙන් අනතුරකදී එම කාලය වෙනත් නැවක සහය ලබාගන්න හොඳටම ප්‍රමාණවත්. කෙසේ නමුත් ඒ සියලු විශ්වාස පුස්සක් කරමින් 1912 අප්‍රේල් 14 වැනිදා Titanic නැව අයිස් කුට්ටියක වැදීමෙන් පසු පැය 3 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී ගියා.
1912 අප්‍රේල් 10 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ස්ටන් වරායෙන් RMS Titanic නැව දියත් වුණා. නැවේ ගමනාන්තය වූයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගර වරාය. නැව් කාර්ය මණ්ඩලයට අමතරව 2227ක මගීන් පිරිසක් මෙහි යාත්‍රා කළා. නමුත් ගමනාන්තය වූ නිව්යෝර්ක් වෙත ළඟා වූයේ මුලු පිරිසෙන් තුනෙන් එකකටත් අඩු ප්‍රමාණයක් පමණයි.
1912 අප්‍රේල් 14 වැනිදා රාත්‍රි 11.35ට පමණ අති විශාල අයිස් කන්දක් නෞකාවට සැතපුම් කාලක් පමණ ඉදිරියෙන් දර්ශනය වුණා. නැව් කාර්ය මණ්ඩලය වහාම නැවේ වේගය අඩාල කර හැරවීමට උත්සහ කළත් නෞකාවක් අති දැවැන්ත ස්කන්ධය නිසා එය ඉතාමත් අපහසු වුණා.
රාත්‍රී 11.40ට Titanic අයිස් පර්වතය හා වේගයෙන් ගැටුණු අතර අඩි 900ක් වූ නැව් බදේ අඩි 300 කට ඉන් හානි වුණා. ගැටීමෙන් නැවේ ප්‍රධාන අංගන 16න් 6 කට දරුණු ලෙස හානීවී තිබුණා. මධ්‍යම රාත්‍රිය එළඹෙන විට නැවේ පහල අංගන ක්‍රමයෙන් ජලයෙන් පිරෙමින් පැවතුණා.
අළුයම 1.20 වනවිට ජලය ක්‍රමයෙන් ඉහළට පැමිණෙමින් පැවතුණා. 2.00 පමණ වනවිට නැවේ ඉදිරි කොටස දක්වාම ජලය පිරී තිබුණා. එක්වරම නැවේ අවරපෙති (propellers) සහිත කොටස ජලයෙන් ඉහළට එසවුණා. නෞකාව සුවිසල් ස්කන්ධයකින් යුක්ත වූ නිසා මධ්‍යයෙන් දෙකට වෙන්වුණා. 20 වන සියවසේ මුල් භාගයේ මිනිසා විසින් නිපදවූ විශාලතම චලනය වන වස්තුව සිය අවසන් ගමන් ගියේ ඒ අයුරින්. ගණිතයානුකූලව නෞකාවේ විනාශයට ඍජුවම බලපෑ කරුණ අයිස් පර්වතයේ ගැටීම වුවත් ඊට අමතරව වක්‍රව බලපෑ කරුණු රාශියක් තිබෙනවා.
Titanic නැවට හානි කළ උතුරු අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කුට්ටිවල කතාව ආරම්භ වූයේ මීට වසර 3000 කට පමණ ඉහත සිටයි. ග්‍රීන්ලන්තයේ සිට කඩාවැටෙන හිම කවදාවත් දිය නොවේ. එලෙස පහළට කඩාහැලෙන හිම දීර්ඝ කාලයක් සම්පීඩනය වීමෙන් විශාල ග්ලැසියර බවට පත්වේ. නමුත් ඒවායේ ඇති සුවිසල් ස්කන්ධය නිසා මේවා මුහුදට වැටී දිනකට අඩි 65ක් පමණ අත්ලාන්තික් සාගරයේ එහා මෙහා චලනය වේ. ඇතැම් අයිස් කුට්ටි අඩි 670ක් පමණ දිගින් හා අඩි 240ක් පමණ උසකින්ද යුක්ත වේ. Titanic නැව හා ඝට්ටනය වූයේද එවැනි විශාල අයිස් කන්දකි.
කෙසේ නමුත් උතුරු අත්ලාන්තික් සාගරයේ මෙලෙස පාවෙන අයිස් කඳු නාවිකයන්ට නම් නුහුරු නුපුරුදු දේවල් නොවේ. අනෙක් අතට එදා නැවේ කපිතාන්වරයා වූ ජෝන් ස්මිත් ඉතාමත් පලපුරුදු කපිතාන්වරයෙකි. ඒ නිසා ඔහුට මෙවැනි අයිස් පර්වත අනපේක්ෂිත අලුත් දෙයක් විය නොහැකිය. ඇතැම් විට Titanic නැවේ ඇදහිය නොහැකි ස්කන්ධයත්, ශක්තිමත් භාවයත් නිසා එදා ඔහු මෙවැනි පාවෙන අයිස් කඳු සුළුකොට තකන්නට ඇති. කෙසේ නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ ගමන් කළ මුලු මගීන් 2227 න් 1517 කට මහමුහුද සොහොන බවට පත්වීමයි. 1900-1912 වර්ෂවල නිරීක්ෂිත පාවෙන අයිස් කුට්ටිවල දත්ත අනුව කැපී පෙනෙන විශේෂත්වය නම් 1912 වර්ෂයේ ඉතාමත් වැඩි වශයෙන් පාවෙන අයිස් කඳු නිරීක්ෂණය කරන්නට හැකි වීමය. මීට අමතරව Titanic නිර්මාණයේදී භාවිතා කළ ඉංජිනේරු තාක්ෂණික දෝෂයන්ද මේ අනතුරට වක්‍රව හේතු සාධක වූ බවයි විද්වතුන්ගේ අදහස.
අලුතෙන් ටයිටැනික් නිවුන් නැව තනන බ්ලූලයින් සමාගම ඔවුන්ගේ ප්‍රධාන මූලස්ථානය පැරිස්වල පිහිටුවා තිබෙනවා. මෙවර මෙම නොගිලෙන සිහිනය සැබෑ කරගන්නට සිතට ගත් ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක් වන Clive Palmer මෙම ටයිටැනික් 02 ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දෙ 2012 වර්ෂයේදීය. මේ ව්‍යාපෘතියේ අවසානයත් සමග චීනයේ Jiangsuහි සිට ඩුබායි දක්වා පළමුවරට යාත්‍රා කිරීමට හැකිවනු ඇති බවයි ඔහුගේ බලාපොරොත්තුව. 1912 වසරේ අනපේක්ෂිත ලෙස මුළු ලොවම කම්පාවට පත්කරමින් අයිස් කුට්ටියක ගැටී ජීවිත විශාල සංඛ්‍යාවක් සමඟ මුහුදුබත්වූ ටයිටැනික් නෞකාවේම සර්වසම ප්‍රතිනිර්මාණයක් ලෙසය මෙම අලුත් නෞකාවද සකස් කොට ඇත්තේ. නමුත් මෙවර එහි ආරක්ෂාව මෙන්ම මගී ආරක්ෂණය ගැනද දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. මගීන් 2700කට ප්‍රමාණවත් ලෙස මෙයට ජීවිත ආරක්ෂක යාත්‍රා පහසුකම් සකසා තිබෙනවා.
මගීන් 1680කට පහසුවෙන් ගමන් කළ හැකි මෙහි උපරිම මගී ධාරිතාවය 2435ක් බවයි කියන්නේ. ඊට අමතරව නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සේවකයන් ගණන 900ක් වනවා. අති නවීන ඩිජිටල් තාක්ෂණයෙන් මෙහි පාලක මැදිරිය බලගන්වා ඇති අතර සැටලයිට් සහ රේඩාර් සඥා පද්ධතිය නවීනම තාක්ෂණික ප්‍රමිතීන් යටතේ සකස් කොට තිබෙනවා.
මීටර් 270ක් දිගින් යුතු මෙම නෞකාවේ උස මීටර් 53ක් වේ. බර ටොන් 40000කි. තට්ටු 9ක් ඇති ටයිටැනික් 02 නෞකාවේ මගී කාමර 840ක් ඇත. සුඛෝපභෝගී ව්‍යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්ම සුපිරිම ගණයේ භෝජන ශාලා සහ කාමර පිහිටා ඇත. මුල් ටයිටැනික් නැවේ පිටත හා අභ්‍යන්තර අලංකරණය කර තිබූ ආකාරයටම එම ටයිටැනික් නැවටම ආවේණික වූ ප්‍රධාන පඩිපෙළ පවා මෙම ටයිටැනික් II යාත්‍රාවේද නිර්මාණය කර තිබෙනවා. ටයිටැනික් II ට ආසන්න වශයෙන් මගීන් 2,400 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 900 ක් පමණ රැගෙන යාමට හැකියාව ඇති බවයි කියන්නේ. පළමු ටයිටැනික් නෞකාවේ ගිලාබැසීමෙන් වසර 106කට පසු යාත්‍රා කිරීමට සූදානම් මෙම නෞකාව 21 වන සියවසේ නෞකාව ලෙස හඳුන්වා දී තිබෙනවා.
► සුගත් පී කුලතුංගආරච්චි
By: Deshaya
බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්
කොවිඩ් වැළදී සුව වනවාට වඩා හොදයි මියයාම - සමීක්ෂණයකදී බ්‍රිතාන්‍යය වැසියන් කියයි.
COVID-19 හි දිගුකාලීන බලපෑම පිළිබඳව කරන ලද අධ්‍යයනයක මූලික සොයාගැනීම්වලින් හෙළි වී ඇත්තේ
රෝහලෙන් පිටව ගිය COVID-19 රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් වෛරසය වැළඳී මාස දෙක තුනකට පසුවත් හුස්ම ගැනීමේ අපහසුතාව, තෙහෙට්ටුව, කාංසාව සහ මානසික අවපීඩනය වැනි රෝග ලක්ෂණ අත්විඳින බවයි. ඔක්ස්ෆර්ඩ් සරසවිය ප්‍රමුඛ අධ්‍යන ආයතන රැසක් එක්ව කළ පරීක්ෂණයකින් මේ බව තහවුරු කරගෙන ඇත. බොහෝ රෝගේන්ගේ වකුගඩු පෙනහලු මොලය අතුලු ප්‍රධාන අවයව විශාල බලපෑමකට ලක්වී ඇති බව සොයාගෙන ඇත
මෙම පරීක්ෂණයට මුහුන දුන් පුද්ගලයින් පවසන්නේ තමන්ට කොවිඩ් 19 වැළදීමෙන් මියයාම හොද බවත් ඉන් සුවවීමෙන් පසු වකුගඩු, හෘදය, ස්නායු හා මොලයේ ආබාධ ඇති වීම තමන්ට විශාල පීඩාවක් බවයි.
මේ පිලිබන්ද වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න .
https://www.ox.ac.uk/news/2020-10-19-medium-term-impact-covid-19-revealed-new-study-1
මෙරට දුම්රිය මාර්ග පද්ධතියේ කෙටි දුරක් තුළ ඉහළ උසකට ළඟා වන දුෂ්කර මාර්ග කොටසක් ලෙස රඹුක්කන - කඩුගන්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවිශේෂ ස්ථාන සහ ඉංජිනේරුමය නිමැවුම් සොයා කඩුගන්නාවේ සිට පාගමනින් දුම්රිය මාර්ගය දිගේ යන සංචාරයක් ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි.
ඉහළ කෝට්ටේ දුම්රිය පොළ ආසන්නයේ දකුණු දෙසට විහිදුණු අතුරු දුම්රිය මාර්ගයකි. එය හඳුන්වන්නේ “පොත්තාපිටිය සයිඩිම” කියාය.
පොත්තාපිටිය සයිඩිමට එපිටින් වූ පොල් ගස දුම්රිය මඟ ජීවිතය කරගත් එක් මිනිසකුගේ මතක සලකුණකි. 1880දී දුම්රිය මඟ අද්දර ඉහළ කෝට්ටේ ඉපිද, මීයන් ඇල්ල බිංගෙය කණින්නට සිය ශ්‍රමය කැප කළ, ඉන් අනතුරුවද විශ්‍රාම යන තුරු දුම්රිය මඟෙහි නඩත්තු අංශයේ සේවය කළ එස්.පී. අප්පුවා නම් අයකු මිහිදන් කළ තැන හඳුනාගන්නට සිටුවූ පොල්ගස අද අඩි විසිපහක් තිහක් උසට වැවී තිබේ. ඔහු මියගොස් ඇත්තේ 1974දීය. වම් පසින් ඇති කෙසෙල් ගස් සහිත ගොඩැල්ලේ නිදන්නේද පෙට්රොල්මන්වරයෙකු ලෙස සේවය කරමින් සිට මියගිය ගල්ලෙනේ ගෙදර සමරා ය. පසුගිය ලිපියේ සඳහන් ව තිබූ “භූත-පෙට්‍රොල්” රාජකාරිය ආරම්භ කරන්නට මුල්වුණු සිද්ධියට මුහුණ දී ඇත්තේ ඔහුය. ඒ අනුව බලන කල මේ දුම්රිය මඟ දෙපස බොහෝ තැන්, දුම්රිය මඟ වෙනුවෙන්ම ඉපදී ජීවත් වූ බොහෝ දෙනෙකුගේ නිජබිම් සහ සොහොන් බිම්ය. දිනපතා දුම්රිය භාවිත කරන දෙනෝ දහසක් මේ මඟ දිගේ සතුටින් ඉහළ පහළ යන්නේ ඔවුන්ගේ දහඩිය, සුසුම් ගැන නොදැන හෝ නොසිතමිනි.
“පොත්තාපිටිය සයිඩිම” දැනට භාවිතයට ගන්නේ මාර්ග නඩත්තු අංශයේ ට්‍රොලි සහ ඩක්කු නැවැත්වීම සඳහා වුවද අතීතයේ මේ සයිඩිම භාවිතා කර ඇත්තේ ඉහළ කෝට්ටෙන් ඉහළ කොටසේදී තිරිංග ක්‍රියා විරහිත වීමකින් පසු රියැදුරු පාලනයෙන් ගිලිහෙන දුම්රිය තවදුරටත් පහළට ඇදී යෑම වළකා අනතුර අවම හානියකින් වළක්වා ගැනීමටය.
“ඉස්සර වාෂ්ප එන්ජින් කාලේ නිතර නිතර දුම්රිය වල තිරිංග වැඩ කරන්නේ නැතිව පහළට ගහගෙන එනවා. ඒක නිසා කෝච්චියක් උඩට යැව්වට පස්සේ පීල්ල සයිඩිම පැත්තට හැරෙන විදියට කැබින් එකෙන් ලීවරය හදල තියෙනවා. ඒක වෙනස් කරන්නේ කෝච්චිය බලන පැන්නට පස්සේ තමයි. ගොඩක් වෙලාවට ඊළඟ කෝච්චියට තමයි පීල්ල හදන්නේ.” අපට මඟපෙන්වන්නට පැමිණි 2014-15 සමයේ ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානාධිපතිවරයා වූ එච්.එම්. විජේසිරි මහතා “පොත්තාපිටිය සයිඩිමේ” භාවිතව පැහැදිලි කලේ එලෙසිනි.
ඈත අතීතයේ පමණක් නොව මෑත ඩීසල් එන්ජින් යුගයේද, කඩුගන්නාවේ සිට පහළට යන දුම්රියද, රඹුක්කන සිට ඉහළට ගිය දුම්රියද අවස්ථා ගණනාවක තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම මාර්ග කොටසේදී අනතුරට ලක්වී තිබේ. කඩුගන්නාවේ සිට පහළට යමින් තිබූ භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන දුම්රියක් එසේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පසු ඉහළ කෝට්ටේ දුම්රියපොළ අසලදී පෙරළී ඇත්තේ 1999 වසරේදීය. දුම්රියපොළ අසලම කුඩා තේ කඩයක් පවත්වාගෙන යන ආර්. ගීතානී රේණුකා මහත්මිය මෙම දුම්රිය පෙරළෙන අන්දම සියැසින් දුටු අයෙකි. මේ ඇය එම අනතුර ගැන කී කතාවයි.
“මගේ පුතාලා ඒ කාලේ ඉස්කෝලේ ගියේ පිළිමතලාවට. හවස ගෙදර එන්න කෝච්චියක් තියෙන්නේ හතරහමාරට. එතකම් (කඩුගන්නාව) ස්ටේෂමට වෙලා ඉන්නවා. ඔය අතරේ බැලස්ට් එකක්, තෙල් කෝච්චියක් ආවොත් නැගලා එනවා. මොකද මේ පාරේ කෝච්චිවල ඩ්‍රයිවර්ලා, ගාඩ්ලා ගොඩක් වෙලාවට අපිව දන්නවා. එදත් තෙල් කෝච්චියක් ඇවිත් කඩුගන්නාවට. ඩ්‍රයිවර් කියල තියෙනවා පුතාලට “යනකොට යමු” කියලා. ඒත් උඩහට ගිය හැටන් කෝච්චියේ මගේ මහත්තයා ගියා කඩේට බඩු ගේන්න. එයා පුතාලට කෑම අරන් දෙන්න කඩේට එක්ක ගිහින්. ඒ අතරේ කෝච්චිය පල්ලම් බැහැල. බ්රේක් නැති වෙලා තියෙන්නේ සිංහ කට දිහාදි. බලනින් මෙහාට පණිවිඩේ කියල තිබ්බා. ඒ කාලේ වැඩකරපු අබේනායක රාළහාමි කෑ ගැහුවා “බ්රේක් නැති කෝච්චියක් එනෝ. අයින් වෙන්න කියලා.” ස්ටාෆ් එකේ ඔක්කොමලා ස්ටේෂමෙන් බැහැල අඩි පාර දිගේ පහළට දිව්වා. කෝච්චියට යන්න හිටපු මිනිස්සු දෙතුන් දෙනාත් දිව්වා. පුතාලා ගැන මතක් වෙලා මම පාර අයිනට දුවල කොස්ගහ ගාව බලාගෙන හිටියා.”
“ඉතින් පුතාලා නැඟලා නෑනේ.”
“පස්සෙනේ ඒක දන්නේ. ඒ කාලේ ෆෝන් නැහැනේ. විනාඩි දෙකක් ගියේ නෑ. හෝන් එක ඔබාගෙන කෝච්චිය එනවා උඩ පැන පැන. ඩ්‍රයිවරුයි ඇසිස්ටනුයි විදුරුව ගාව බාර් එකක එල්ලිලා ඉන්නවා පෙනුණා. එන්ජිම ස්ටේෂම මැද හරියට එද්දි පිටිපස්සේ පෙට්ටි වගයක් පෙරළුණා ලාවට වගේ දැක්කා. දූවිලි වලාවකුත් ගියා. ස්ටේෂම පාස් කරද්දි ඉතිරි වෙලා තිබුණේ එන්ජිමයි තෙල් ටැංකියයි. අනෙක්වා ස්ටේෂම හරියේ පෙරළෙනවා පෙනුණා. බෝගහ හරියෙදි තෙල් ටැංකිය උඩ ගිහින් කැරකැවුණා. ඒ ටික තමයි දැක්කේ. පස්සේ සෙනඟත් ආපහු ආවහම - ගිහින් බලද්දි එන්ජිම සඟරජලෙනට උඩින් ඇල වෙලා නැවතිලා තිබ්බා.”
මෙම අනතුර මෙම මාර්ග කොටසේ සිදුවූ අනතුරු වලින් සරලම අනතුරකි. කාර්ය මණ්ඩලයට සුළු තුවාල හරුණු විට දේපළ හානිවලින් පමණක් සමන්විත වූ මෙම අනතුරට ලක්වූයේ මඟී දුම්රියක් නම් කතාවේ අවසානය බොහෝ දුක්ඛදායක එකක් වන්නට ඉඩ තිබිණි.
ඉහළ කෝට්ටේ දුම්රියපොළ පසුකර යන විට දකුණු පසින් ඇත්තේ විශාල බෝගසකි. මේ බෝගස පසු කොට මද දුරක් පල්ලම් බසින විට දකුණු පසින් හමුවන්නේ “සඟරජලෙන”ය. කොළඹ සිට දුම්රිය මගෙහි හරියටම සැතැපුම් 59ක් දුරින් පිහිටි සඟරජලෙන ලාංකේය රාජ්‍යත්වය සමඟ අතීතයේ සිට බැඳුණු “කුමන්ත්‍රණ” පිළිබඳ තවත් එක කතාවක නිහඬ සාක්ෂියකි.
“වර්ෂ 1707 - 1739 සමයේ මහනුවර රජකම් කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ හිතවතකු නිසා රාජ්‍ය පාලනයට සම්බන්ධ වුණු දස්කොන් හෙවත් පේද්‍රෝ ගැස්කොන් අදිකාරම ලෙව්කේ දිසාවගේ කේළමක් නිසා, උල තියා මරා දමන්නට රජතුමා නියෝග කරනවා. පස්සේ රජතුමාට ආරංචි වෙනවා සූරියගොඩ උන්නාන්සේගේ මෙහෙයවිමෙන් ලෙව්ක් රාල කී කේළමක් නිසා දස්කොන් නිරපරාදේ හිස ගසා මරාදැමූ බව. ඒ ගැන උදහස්ව සූරියගොඩ හාමුදුරුවන්ව හිසගසා මරා දමන රජතුමා, ලෙව්කේරාළව මාකෙහෙල්වල ගමේ “පොල්ගස්ගොඩගෙදර” හිරකරනවා. සූරියගොඩ විහාරයේ සාමණේරවරුත් සීසීකඩ යනවා ඊට පස්සේ. වැලිවිට හාමුදුරුවෝ ඇවිත් නවතින්නේ මෙන්න මේ ගල්ලෙනේ. ඒ දඬුවම් ලබපු ලෙව්කේ රාළ ගෙන් බාලාවතාරය නම් වූ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයේ නාම කාණ්ඩය කොටස ඉගෙන ගන්න හිතාගෙන. ලෙව්කේ රාළගේ පාලි දැනුම කෙතරම්ද කියනව නම් ඔහුට ඒ කාලේ “විහාර රාළහාමි” කියලත් කියල තියෙනවා.” යනුවෙන් සඟරජලෙනේ වැදගත්කම පැහැදිලි කළේ ඉහළ කෝට්ටේ විහාරයේ ප්‍රකට දායකයෙකු වන හැත්තෑහත් හැවිරිදි ආර්.පී.ජී. පියදාස මහතාය. ඔහුද විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපති වරයෙකි.
සඟරජලෙන පසු කර තවත් මීටර් සියයක් පමණ යන විට හමුවන්නේ බිංගෙයකි. එය අංක 5A දරණ බිංගෙයයි. දුම්රිය ධාවනය ඇරඹි 1867න් වසර හතළිස් පහකට පමණ පසු 1912 දී දෙවැනි අදියරේදී කණින ලද බිංගෙයක් වීම නිසා මෙම බිංගෙය අංකනය වී ඇත්තේ ඉලක්කමකට අමතරව ඉංග්‍රිසි A අකුරක්ද එක් විමෙනි. අඩි 1364ක් දිගැති මෙම බිංගෙය ලංකාවේ දුම්රිය මාර්ගවල හමුවන බිංගෙවල් අතරින් දෙවැනියට දිගම බිංගෙයයි. එය දෙවැනි වන්නේ හැටන්- කොටගල අතර හමුවන සිංගිමලේ බිංගෙයටය. සිංගිමලේ බිංගෙය දිඟින් අඩි 1865 කි. මෙම බිංගෙය කණින සමය වන විට දුම්රිය මාර්ග කම්කරුවන් ලෙස සිංහලයින්ද එක්වී ඇති අතර මෙම බිංගෙය සඳහා සම්පූර්ණ ශ්‍රම දායකත්වය ලබාදී ඇත්තේ දේශීය කම්කරුවන්ය.
අවදානම් මඟෙක මීටර් හාරසියයකටත් වඩා වැඩි දුරක් යා යුතු නිසා බිංගෙයට ඇතුළු වන්නට පෙර දුම්රිය කාලසටහන ගැන දැනුවත්වීම වැදගත්ය. ඒ නිසාම අපි රඹුක්කන දුම්රිය පොළට ඇමැතුමක් දී ආසන්නයෙන් දුම්රියක් නැති බව තහවුරු කරගෙන, විදුලි පන්දම්ද දල්වාගෙන බිංගෙයට ඇතුළු වූයෙමු. පෙර හමුවූ බිංගෙවල් සමඟ සැසදීමේදී ඉතාමත් තෙතබරිත දුම්රිය බිංගෙයක් ලෙස දැක්විය හැකි මෙම බිංගෙයි තෙත ගතිය ට හේතු වන්නේ, බිංගෙයට ඉහළින් දිය ඇල්ලක් ගලායන නිසාය.
බිංගෙයට ඉහළින් ගලන්නේ අලගල්ල කන්දේ පූජාගල නිම්නයෙන් පහළට ගලාඑන වළගොඩ ඔයයි. එයින් උපදින මීයන් ඇල්ල දිය ඇල්ල පැරණි දුම්රිය මඟ ඉදිකිරීමේදී සෘජුව කඩා වැටී ඇත්තේ දුම්රිය මඟ මතට මය. ඒ නිසා සුදු ජාතික ඉංජිනේරුවන් විසින් ගල් තලාව මුදුනේදී දිය ඇල්ල හරස් කරමින් බැම්මක් බැඳ දිය ඇල්ලේ ගමන අඩාල කොට ඇත. එසේ අඩාළ කිරිමෙන් අනතුරුව සිහින් දිය පහරවල් දෙකක් ලෙස ගල් තලාවේ දෙපසින් කඩා හැලෙන්නට සලස්වා දුම්රිය මඟට අනතුරක් විම අවම කරගන්නට උත්සාහ ගෙන ඇත. ඒ උත්සාහය තරමක් සාර්ථක වුවද එයින් අහිමි වී ගියේ “මීයන් ඇල්ලේ” අනන්‍යතාවයි. නොඑසේ නම් අඩි සියයක් පමණ උසැති මීයන් ඇල්ල ලාංෙක්ය දිය ඇළි නාමාවලියට එක්වීමට වරම් ලබනු නොඅනුමානය. සුද්දාගේ තීරණය නිසා වසරේ වැඩි කාලයක් කෙසඟ කැහැටු දිය දහරා දෙකක් ලෙස ඇද හැලෙන මීයන් ඇල්ල දිය ඇල්ලක් බවට නම් කිරීම සඳහා වන නිර්ණායක සපුරන්නේ නැත.
බිංගෙයි තුළින් මීටර හැත්තෑපහක් පමණ දුරක් යන විට අතරමඟදී වම්පස බිත්තියෙන් දැකිය හැක්කේ කුහරයක් තනා ඇති ආකාරයයි. අපට මඟ පෙන්වන්නට පැමිණි මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී එච්. එම්. නිපුන ඉඳුනිල් මහතා පැවැසූ පරිදි එය බිංගෙය කැණීමේදී ගල් ඉවත් කිරීමට යොදාගත් යාන්ත්‍රික උපක්‍රමයක් වෙනුවෙන් නිර්මාණය වූවකි. කුඩා පීලි මත ධාවනය වූ ඩක්කුවකින් මෙම බිංගෙය කැණිමේදි එක්රැස් වන ගල් ඉවත්කර ඇති බව ඔහු විසින් අපට පැහැදිලි කර දුන්නේය.
“හොඳට අහගෙන ඉන්න. ඇල්ලේ සද්දේ ඇහෙනවා.”
නිශ්ශබ්ද වන ලෙස සංඥා කරමින් කුහරය ආසන්නයට ගිය, ඔහු අනුගමනය කළ අපිද සිහින් දිය දහරාවක හඬ ඇසුවෙමු.
“ඒ තමයි මීයන් ඇල්ල”
‘සුද්දාට මීයන් ඇල්ල කියල කියාගන්න බෑ… ඒ නිසා සුද්දා මේකට කිව්වේ මීන්ගල්ල කියලා. මීයන් ඇල්ල ගල්තලාවේ L අකුරේ හැඩේට කට්ටයක් කපලා ඒ දුර්ග මඟ දිගේ තමයි මුලින්ම කෝච්චිය නුවරට ගියේ. මේ දුර්ග මඟට සුද්දා කිව්වේ “Meengalla Pass” කියලා. සුද්දට වැඩිය මීයන් ඇල්ලේ වටිනාකම තිබුණේ අපිට. සතර කෝරලේ, සත් කෝරලයෙන් මායිම් වෙන පරණ කඩඉම් ලකුණක් විදියට රජකාලේ ඉදලා මීයන් ඇල්ල භාවිත වෙලා තියෙනවා.” ඒ වගතුග අපිට කීවේ බලන දී හමුවූ, මොරගොල්ල වසමේ ග්‍රාම නිලධාරී චින්තක සාරංග ධර්මප්‍රිය මහතාය.
ඔහු උපුටා දැක්වූ පරිදි ඒ කඩඉම් කවිය මෙබඳු ය.
“මීයන් ඇල්ල බලනේ කඩවත ඇතුලේ කඩුගන්නාව පිට සේසත කෙටූ ගලේ
මාවෙල උඩුපිටින් ලගමුවද පසු කලේ
මෙකි ලකුණු තුළ රට සතර කෝරළේ..”
කවියේ සඳහන් සීමා ගැන තොරතුරු මතකයට ගනිමින් බිංගෙයින් එළියට පැමිණි අප දැන් සතර කෝරළය පැන සත් කෝරලයට පිවිස සිටිමු. එහෙත් පැරණි දුම්රිය මඟ දිගේ පාගමනින් ගොස් මීයන් ඇල්ල නැරඹිය යුතු නිසා යළිදු කෙටි වේලාවකින් සත්කෝරලයෙන් සතර කෝරලයට පිවිසෙන්නට අපිට සිදුවනු ඇත.
ස්තූතිය - අවසර ගැනීම් සම්බන්ධීකරණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රියැදුරු සමන් ගුණවර්ධන මහතාට, දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරී (සම්බන්ධිකරණ ලේකම්) විරාජ් නානායක්කාර මහතාට, තොරතුරු තහවුරු කර ගැනිමට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් වික්‍රමරත්න මහතාට, නාවලපිටිය ප්‍රවාහන අධිකාරී කාර්යාලයට සහ ගමන ගවේෂණ කණ්ඩායමට
ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
ඡායාරූප - චතුර හේමාල්
සිළුමිණ
සිත්මල් යාය
(පැරණි ඡායාරූප අන්තර්ජාලයෙනි)