එලිසබත් කුමාරිගේ මංගල තෑග්ගට අගමැති සේනානායක ගෙනගිය කළුවර කැටයම ‘නව නාරි හස්ති කුංජරය’
Written by Editor
ලංකාවේ බෝතලේ වලව්වේ ඉපදී පොදු මහජනතාව අතර සමීප සම්බන්ධතා පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයටත් පෙරාතුව මීගමුව දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයා ලෙස නිතරගයෙන්ම පත්වූ දොන් ස්ටීවන් සේනානායක මහතාණන් හැම තැනකදීම කටයුතු කළේ තමන් පොළවේ පය ගසාගෙන සිටින තැනැත්තෙකු වශයෙනි. මෝදර සාන්ත තෝම්ස් කොලීජියෙන් හත පන්තිය සමත්ව ‘කැලේ පැන්නද’ ඔහුට කවර තරම් උගත්, උසස්, වැදගත් කෙනකු සමග වුවද එක සීරුවේම එක එල්ලේ ඉහළ ඉංග‍්‍රීසියෙන් වුවද කතා කිරීමේ හැකියාව තිබුණේය. එය ගමේ ගොඬේදී ගැමියකු සමග කතා කිරීමටද මෙන්ම එතුමනට අමුතු ආවේගයක් හෝ ආවේශයක් ගන්නට වුවමනා නොවූයේය. එහෙයින්ම කවර රජ සබයකදී වුවද මේ දොන්ස්ටීවන් සේනානායකයෝ සිය පෞරුෂයෙන් හා ප‍්‍රායෝගික අත්දැකීමෙන්ම මුල් තන්හිම වැජඹීමේ අවස්ථාව හිමිකර ගත්හ.
එතුමෝ තම පරම්පරාවෙන්ම ලද ආභාෂය අනුව සෙසු මනුෂ්‍යයන් විශ්වාස කිරීමට හුරු පුරුදුව සිටියේ තමන් මෙන්ම ඔවුන්ද තමන් මෙන්ම අවංක විය යුතුය. න්‍යායෙහි පිහිටා සිටය. එහෙයින්ම එතුමෝ තමන් තම රටට, ජාතියට ආදරය කරන්නාක් මෙන්ම මේ රටේ සිටින අන් ජාතික නායකයන්ද තම රටටත්, ජාතියටත් ආදරය ගෞරවය කරන බව දැන සිටියහ. එනිසාම අපේ රටට සුදු ජාතික ආණ්ඩුවෙන් නිදහසක් ලබාගත යුත්තේ සිංහල ජාතියක් උදෙසා පමණක් නොවන බවද දෙමළ ජාතිකයන් සඳහා පමණක් නොවන බවද, මුස්ලිම් ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද අන් සුළු ජාතිකයන් උදෙසා පමණක් නොවන බවද මුල සිටම තේරුම් ගෙන සිටියහ.
අප නිදහසක් ලබාගත යුත්තේ මේ රටේ සිටින මේ රටේ ඉපදුණ සියලූම ජාතිකයන් වෙනුවෙන්ම බව මෙසේ කලින්ම තේරුම් ගත් එතුමෝ තමනට කොතරම් අවස්ථාව ලැබුණද පක්‍ෂයක් පිහිටුවා එහි නායකත්වයක් දරන්නට උත්සාහ නොකළහ. එවැනි අවස්ථාවන් කොතෙකුත් එළැඹියද එවන් කටයුත්තකට නොපෙළඹුණාහ.
එතුමෝ සියලූම ජාතික නායකයන් අගනුවරට කැඳවා දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කරවූවේ එංගලන්තයේ යටත් විජිත ලේකම්වරයාගෙන් නියත වශයෙන්ම ලංකාවට නිදහස ලබා ගන්නට හැකිකම. ලැබේය යන විශ්වාසය තහවුරු වීමෙන් පසුව ඒ සඳහා ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වීමේ අවශ්‍යතාව අනුවය.
මේ අනුව වර්ෂ 1946 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ හතේ ‘ෆාම්කෝට්’ මන්දිරයට එක්රැුස් වූ රටේ විවිධ ජාතික නායකයන් එක්ව ‘එක්සත් ජාතික පක්‍ෂය’ පිහිටුවා ගෙන මේ වන විට හැට දෙවැනි වියේ සිටි ඞී. ඇස්. සේනානායක ගොවිකම් හා ඉඩම් අමාත්‍යතුමන් පක්‍ෂයේ සභාපති පදවියට පත්කර ගත්හ. මේ අවස්ථාවේදී වර්ෂ 1935 දී වේයන්ගොඩ රාජ්‍ය මන්ත‍්‍රීවරයා ලෙස සිටියදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා විසින් පිහිටුවා ගන්නා ලද ‘සිංහල මහා සභාවේ’ ප‍්‍රමුඛතම සාමාජිකයන් පිරිසක්ද මෙම පක්‍ෂයට එක්වූහ.
ඉන් අනතුරුව වර්ෂ 1947 තේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් ලද එක්සත් ජාතික පක්‍ෂය සෙසු පක්‍ෂ කීපයකම ජාතික නායකයන්ටද තැන දෙමින්ද ආණ්ඩුවක් පිහිටු වූහ. වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා එංගලන්තයේ රජු නියෝජනය කරමින් මෙහි පැමිණි එතුමාගේ බාල සහෝදර ග්ලෝස්ටර්හි ආදිපාදතුමාගේ ප‍්‍රධානත්වයෙන් අපට නිදහස ලැබීමේ උත්සවය පැවැත්විණි.
මේ වන විට ලෝකයටම බලපෑ දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයද කෙළවර වී තිබුණු බැවින් වැඩි දෙනකුට ලෝක සාමය අත්දකින්නට ඉඩ සැලසී තිබිණි.
මෙසේ කටයුතු සිදුවෙමින් තිබියදී එංගලන්තයේ බකිංහැම් මාලිගය මංගල්‍යශ‍්‍රීයෙන් ඉපිලී ගියේ ඔටුන්න හිමි එලිසබත් කුමාරිතොමෝ ග‍්‍රීසියේ පිලිප් කුමාරයා හා සමග සරණ බන්ධනය උදෙසා සූදානම් වීම නිසාය.
මෙම රාජකීය විවාහ මංගලෝත්සවය උදෙසා සිලෝන් රටේ - ලංකාවේ අග‍්‍රාමාත්‍ය මහාමාන්‍ය ඞී. ඇස්. සේනානායක මැතිතුමා සහ එම මැතිිනිියටද සුවිශේෂ ආරාධනයක් ලැබිණ. තමන් හා මැතිනිය මීට කලින්ද එංගලන්තයේ බකිංහැම් මාලිගයට හෝ හය වැනි ජෝර්ජ් මහ රජතුමා හා එලිසබත් මව් බිසව මෙන්ම ඔවුන්ගේ දූවරුන් දෙදෙනා වූ එලිසබත් හා මාග‍්‍රට් කුමාරියද දැක දැන හඳුනාගෙන තිබෙන නිසාමද මෙම ආරාධනය සුවිශේෂ ආරාධනයක් ලෙසද ගණන් ගැනිණ.
රාජකීය මංගල ගමනට ලක ලෑස්ති වූ ඞී. ඇස්. අගමැතිතුමා කල්පනා කළේ නව මනාල යුවළට කිසියම් මතක හිටින අන්දමේ දේශීය ලක්‍ෂණ විදහා පාන අන්දමේ තෑග්ගක් දිය යුතු බවය. ඒ ගැන කල්පනාකාරී වීමෙන් පසුව එතුමාගේ සිහියට ආවේ අපේ ඉපැරැණි කැටයමක් කළුවර ලීයෙන් කප්පවාගෙන එය තමන්ට අතේ ගෙන යන්නට කටයුතු යෙදිය යුතු බවය.
ඒ අනුව දොන් කරෝලිස් හේවාවිතාරණ සහ සමාගමේ ප‍්‍රධාන කැටයම් ශිල්පියකුට අරලියගහ වලව්වට පැමිණ තමන් හමුවන ලෙස සේනානායක අගමැතිතුමෝ පණිවුඩයක් යැවූහ.
අගමැතිතුමාගේ ආරාධනය අනුව දොන් කරෝලිස් පුත‍්‍ර සමාගමේ ප‍්‍රධානියකු වූ බී. කුමාරදාස පෙරේරා මහතා අරලියගහ මන්දිරයට ගොස් එතුමා හමුවූයේය. සාකච්ඡාව සාර්ථකව නිම කෙරිණි.
පැරැණි සිංහල කැටයම් කලාව මුර්තිමත් කෙරෙන අයුරින් කළුවර ලීයෙන් අඩි එකකුත් අඟල් අටක් දිගටත්, අඩියක් පළලටත් සිටින සේ ‘නව නාරි හස්ති කුංජරය’’ නම් කැටයම සම්පාදනය කිරීමට අණ කෙරිණි. තරුණ කාන්තාවන් නවදෙනකු විසින් ඇතෙකු නිර්මාණය කෙරෙන ලෙස පෙනී සිටීම මෙම සූක්ෂම කැටයම් නිර්මාණය මගින් විවරණය කෙරෙන හෙයින් එයින් මේ මංගල ජෝඩුවගේ මෙන්ම එහි පැමිණෙන සුවිශේෂ අමුත්තන් තුළ ද බලවත් හැඟීමක් මතු කරමින් තැබිය හැකි යැයි ගරු අගමැතිතුමෝ සිතා ගත්හ.
විශේෂයෙන්ම කුමාරදාස පෙරේරා මහතා විසින් ගෙනැවිත් තිබූ කැටයම් රූපසටහන් අනුව මෙම ‘නව නාරි හස්ති කුංජරය’ අගමැතිතුමාගේ සිත බලවත් ලෙස පැහැරගෙන තිබිණි. එහි කාන්තාවන් නවදෙනකුගෙන් හස්තියා නිර්මාණය වී තිබුණු බව පෙනිණි.
දින සතරකින් පසුව කුමාරදාස පෙරේරා මහතා විසින් අරලියගහ වලව්වට ගෙනැවිත් ඞී. ඇස්. සේනානායක අගමැතිතුමා වෙත එම කළුවර කැටයම දක්වාලන ලද අවස්ථාවේදී එතුමෝ එය සූක්‍ෂ්ම ලෙස කැටයම් කර තිබෙන අන්දම දැකබලා අතිශයින්ම සතුටට පත් වූහ. එහෙයින් එවේලේ එතුමා අතින් මුදල් ත්‍යාගයක් ද තවත් තෑගි කිහිපයක් ද කුමාරදාස මහතා වෙත පිරිනැමිණ. මොලී සේනානායක මැතිනියද මේ සුවිශේෂ කැටයම දැකබලා අතිශයින්ම සතුටට පත් වූවාය.
තමන් ඇතුළු ජාතික නායකයන් පිරිස දසක ගණනාවක් තිස්සේ දරන ලද ප‍්‍රයත්නයෙන් ජයග‍්‍රහණය ලබා රටට නිදහස ලබා ගැනීමෙන් පසුව මහ මැතිවරණයෙන් ලද ජය අනුව ආණ්ඩුවක් පිහිටුවා එහි අග‍්‍රාමාත්‍ය ධුරය තමනට ලබන්නට හැකිවීමත් සමගම මේ රාජකීය විවාහය උදෙසා ආරාධිත නිමන්ත‍්‍රණය ලැබීමද සේනානායක අගමැතිතුමන් සැලකුවේ මහත් වූ ගෞරවයක් හැටියටය.
තවත් යුරෝපීය කලිසම් කබා ඇඳුම අනුගමනය කළ නමුදු ඔවුන්ගේ පාලනයට නතුව ස්ව රට වෙනුවෙන් රටේ හැම ජාතිකයන් වෙනුවෙන්ම පූර්ණ නිදහස ලබාගත් නමුදු වාමාංශික විරුද්ධ පාක්‍ෂිකයන් කවදත් මෙම ජාති මාමක දේශ මාමක සේනානායක ජන නේතෘවරයාණන්ගේ ප‍්‍රයත්නය හෑල්ලූ කොට සලකන්නට හුරු පුරුදු වී සිටියහ. එහෙත් කවදත් විරුද්ධ පාක්‍ෂිකයන්ට ද ගරු කිරීමේ ප‍්‍රතිපත්තියක සිටි එතුමෝ ඒවා ගණනකට නොගෙන තම ප‍්‍රතිපත්ති රටට, ජාතියට මෙහෙය පිණිසම කි‍්‍රයාවෙහි යෙදවූහ.
කරුණු මෙසේ යෙදී තිබියදී සේනානායක අගමැතිතුමෝ තම මැතිනිය සමග එංගලන්තයට ගොස් එළිසබත් කුමාරියත් පිලිප් කුමාරයාගේත් විවාහ මංගල්‍යට සහභාගි වූහ.
එහිදී තමන් ලංකාවේ සිට සුරක්‍ෂිතව තම අතේම ගෙන ආ කළුවර ලීයේ කැටයම් කළ ‘නව නාරි හස්ති කුංජරය’ සුදුසු වේලාවක් බලා සේනානායක යුවළ විසින් නව යුවළ වෙත පිළිගන්වන ලදහ. කවර තරමේ කලබල මධ්‍යයේ වුවද ලංකා අගමැතිතුමාගේ මෙම අපූරු හෙළ කැටයම් තෑග්ගට රාජකීය මනාල යුවළගේම අවධානය යොමු වූ බව පෙනුණේය. එම කැටයම් එම අවස්ථාවේදීම මහා බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි එළිසබැත් මනාලිය මෙන්ම මේ අවස්ථාවේ එතුමියව හිමිකරගෙන සිටි පිලිප් කුමරා ද සේනානායක අගමැතිතුමාගෙන් මෙම සුවිශේෂ කැටයම පිළිබඳව තොරතුරු හාරා අවුස්සා ඇසූහ.
සේනානායක අගමැතිතුමාගෙන් එයට නියම ලෙස පිළිතුරු ලැබිණි. ඒ වන විටද තම පිය මහරජතුමාගෙන් ‘මහාමාන්‍ය’ නම් වූ එංගලන්තයේ සාමි මන්ත‍්‍රණ මණ්ඩලයේ සභික සම්මානය ද ලබා සිටි මේ සේනානායකයාණන් පිළිබඳව ප‍්‍රසාදයෙන් යුතුව කතාබහ කිරීමට මනාල යුවළම පෙළඹුණු බවද දක්නට ලැබිණී.
මෙම සිද්ධියේ අලගිය මුලගිය තැන්ද සොයා දැනගෙන මෙසේ පාඨකයන් වෙත ලියා දක්වන්නට අප අදහස් කළේ ඉන් දසක ගණනකට පසුව එම ත්‍යාගය පිළිබඳව තවත් තොරතුරක් ද දැනගන්නට අපට අවස්ථාව ලැබුණු නිසාය.
නවසිය අනූ ගණන්වල අග භාගයේ සිට අපට දැන හඳුනා ගන්නට ලැබුණු ආර්. ජී. සේනානායක මැතිනිය (එරින් සුබසිංහ සේනානායක මැතිනිය) ඇමැතිතුමාත් සමගම එක් කලෙක එංගලන්තයට ගිය අවස්ථාවක එහි ලංකා තානාපති මන්දිරයේ බිත්තියක මෙම ඓතිහාසික රාජකීය කැටයම් කුංජරය ගෞරවයෙන් යුතුව එල්ලා තිබෙනු දැක එහි තානාපතිවරයාටත් නිලධරයන්ටත් එහි ඉතිහාසය කියා පැහැදිලි කර දුන් අන්දම අප සමග පැවසුවාය. එහි සිටි පැරණි නිලධරයන් පවා එහි අතීත කතාව දැනගත්තේ එවිටය. එළිසබත් කුමරිය පසුව බි‍්‍රතාන්‍ය මහ රැජින වූවාට පසුව දිනෙක මේ රාජකීය කෘතිය වඩාත් සුදුසු ලංකා තානාපති මන්දිරයට බව පවසා එය වෙත ප‍්‍රදානය කර තිබිණි.
සමහර විට මේ දුර්ලභ ත්‍යාගය තවමත් එංගලන්තයේ ලංකා තානාපති මන්දිරයේ බිත්තියක රැඳී තිබෙන්නට ද පුළුවන.
සෝමසිරි කස්තුරිආරච්චි
-Divaina-
මෙරට ප්‍රථම අස්ථි බද්ධය සිදුකල වෛද්‍ය ස්පිට්ල් ගේ කැලණියේ බංගලාව
Written by Editorකැලණියේ හැංගිලා තියෙන ස්පිට්ල්ගේ බංගලාව
* ඉස්සර මෙහේ වත්තේ වැද්දොත් හිටියලු
* මේ ගෙයි භූතයො ඉන්නවා කියා හිතෙනවා
දොස්තර ආර්.එල්. ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයක් යැයි කීම වරදක් නැත. හේතුව නම් ඔහු එදා නොසිටින්නට අද අප අපේ ආදිවාසීන් පිළිබඳ විමසිලිමත් නොවනු ඇත. වෛද්‍යවරයකු වූ ස්පිට්ල් වෙදකමට අමතරව ප්‍රිය කළේ කැලෑවල ඇවිදීමටය. වැද්දන් ඇසුරු කිරීමට ය. ඔහු පිළිබඳ බොහෝ කතා ඇත්තේ ය. ස්පිට්ල් මහතා පිළිබඳ විමසන විට අපට හැම විටම සිහියට නැඟෙන්නේ කොළඹ රේඩියෝ සිලෝන් එක ඉදිරිපිට ඇති ඔහුගේ ‘විචර්ලි’ නම්වූ ඉපැරැණි නිවසයි. අද එම නිවසේ ‘විචර්ලි’ ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යන්නේ ය. ස්පිට්ල් මහතා පිළිබඳ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් කිරීමට අවශ්‍යතාවක් නොතිබූ මොහොතක මා මිතුරෙක් අපූරු ඔත්තුවක් දුන්නේ ය. “අන්න ස්පිට්ල් මහත්තයාගේ බංගලාවක් තියෙනවලු කිරිබත්ගොඩ මාකොළ දකුණේ.”
මිත්‍රයාගේ ඔත්තුවට අනුව ස්පිටල් මහතාගේ පොත පත කියවා ඇති ඔහුගේ ඉතිහාසය පිළිබඳ දන්නා වැඩිහිටි කිහිප දෙනෙකුගෙන් ම මෙම බංගලාව පිළිබඳව විමසා බැලීමි. ඇසූ කිසිවෙක් ඒ ගැන යමක් කියන්නට නොදැන සිටියහ. අවසානයේ අපි කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය දියමුල්ල මහතා ඇමැතුවෙමු.
“මේක බොරු ගමනක්ද? ඉකුත් ඉරිදා එම ස්ථානයට යනතුරු ම සිතට වදදුන් එකම ප්‍රශ්නය එය විය.
“ආර්.එල්. ස්පිට්ල් හෙවත් රිචඩ් ලයනල් ස්පිට්ල් උපත ලබන්නේ 1881 දෙසැම්බර් මස නව වැනිදාය. ස්පිට්ල්ගේ පියා වන්නේ 1760 දී මෙරටට පැමිණි ඕලන්ද රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු නම් වෛද්‍ය ෆෙඩ්රික් ජෝජ් ස්පිට්ල් ය. මව සිලියා ජෑන්ස්ය. තංගල්ලේ දී උපත ලැබූ ස්පිට්ල් තංගල්ල පුත්තලම පාසල්වල ඉගෙනුම ලබා වයසින් වැඩෙත්ම වැඩිදුර ඉගෙනුම ලැබීම සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කෙරේ. රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පසුව වෛද්‍ය පීඨයට ඇතුළත්වන ස්පිට්ල් වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව යන්නේ ය. ඔහු එල්.එම්.එන්. විභාගය සමත් වන්නේ 1905 දී ය. එංගලන්තයට ගොස් එෆ්.ආර්.සී.එස්. උපාධිය සමත්ව ඔහු 1909 දී නැවත ලංකාවට පැමිණෙන්නේ ය. බර්ගර් ජාතිකයකු වන වෛද්‍ය ස්පිට්ල් 1936 සිට 1938 දක්වා ලංකා ඩම් බර්ගර් සංගමයේ සභාපති ධූරය ද උසුලනු ලබයි.
වෛද්‍ය ස්පිට්ල් කොළඹ මහ රෝහලේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි.
ලංකාවේ ප්‍රථම වරට අස්ථි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළේ වෛද්‍ය ස්පිට්ල් විසින් යැයි අතීත වාර්තාවල සඳහන්ව ඇත. යටත් විජිත සමයේ ලංකාවේ රජයේ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ස්පිට්ල් හඳුන්වා දීමට පුළුවන. වෛද්‍ය විද්‍යාව එතරම් දියුණු නැති කාලය දැනට වසර එකසිය හයකට පමණ පෙර සරනේලිස් නම් 17 හැවිරිදි තරුණයකු 1912 ඔක්තෝම්බර් මාසයේ දිනෙක දකුණතේ ආබාධයක් නිසා කොළඹ රෝහල විටින් විට මෙයට ප්‍රතිකාර කළ ද නිට්ටාවට සුවයක් නොවී ය. වෛද්‍ය ස්පිට්ල් රෝගය හඳුනා ගත්තේ ය. ඔහුගේ නියමය වන්නේ අස්ථියක් බද්ධ කළ යුතු බව ය. මාස ගණනකට පසු සරනේලිස් රෝහල් ගතව සිටින අතරේ ම වයස අවුරුදු 30 ක් වු මිනිසකු රෝහලට පැමිණෙන්නේ ඩයිනමයිට් පිපිරීමක් නිසා යළි යථා තත්ත්වයට ගත නොහැකි තරමට හානි වූ අතක ආබාධයක් සහිතවය. මේ වෙනුවෙන් කළ හැකිව තිබූ එකම දෙය අත ඉවත් කිරීමය.
මෙහිදී වෛද්‍ය ස්පිට්ල් තීරණයකට එන්නේ ය. එනම් ඩයිනමයිට් පිපිරුමෙන් හානි වී තිබෙන අත ඉවත් කර ලබාගන්නා අස්ථි කොටස් සරනේලිස්ගේ අතට බද්ධ කිරීමටය. ඉවත් කර ගන්නා අස්ථි කොටස් උණුසුම් සේලයින් වතුරේ බහා තබා සරනේලිස්ට අස්ථි සැත්කම සිදු කරන්නේ ය. වෛද්‍ය ස්පිට්ල් සුදුසු අයුරින් සැත්කම සිදු කරන්නේ ය. සැත්කමෙන් මාස පහකට පමණ පසු සරනේලිස් ගමට යන්නේ ක්‍රියාකාරී අතක් ද සහිතවය. ඔහු තම සේවය උපරිම කැපවීමෙන් කළ අයෙකි. නමුදු බාලවියේ සිටම කැලේ කොළේ සතා සීපා සමඟ ඇවිදීමට ගැවසීමට ඔහු ප්‍රිය කළේය. එය එසේ වීමට හේතුව වූයේ ඔහුගේ පියා කුඩා ස්පිට්ල්ට විශ්වාසවන්ත වැඩිහිටියෙකු සමඟ කැලේ බැලීම සඳහා පිටත්කර හැරුමය.
වෛද්‍ය සේවයේ යෙදී සිටිය ද ස්පිට්ල් ඒ පුරුද්ද අත් නොහැරියේ ය. ඔහු වැද්දන් සොයා දඹාන, පොල්ලේබැද්ද ආදී ප්‍රදේශවලට නිතර ගියේ ය. ඒ ගිය ගමන්වලදී වැද්දෝ ඔහු හා බොහෝ හිතවත් වූයේ ය.
මීට වසරකට දෙකකට පෙර පොල්ලේබැද්දට ගිය විටෙක එහි ආදිවාසී නායක් හෝඹා ඇත්තන් අපට හමුවිය. ඔහු වයෝවෘද්ධය. හෝඹා ඇත්තන්ට වෛද්‍ය ස්පිට්ල් හමුවන විට හෝඹා කොලු ගැටයෙකි. වෛද්‍ය ස්පිට්ල් ගැන සිහිකරන විට ඔහුගේ දෑස කඳුළෙන් පිරුණි.
“සුදු හූරා අපට බොහෝම හිතවත්. සුදු හූරාගේ දුව ක්‍රිස්ටිනා එක්ක මං සෙල්ලම් කරනවා. ඒ කාලේ හැමතැනම මැලේරියාව. සුදු හූරා කතමයි අපිට බෙහෙත් ගෙනැල්ලා දෙන්නේ. සුදු හූරගේ කොළඹ ගෙදරටත් මං ගිහින් තියෙනවා. ඉස්සර ක්‍රිස්ටිනා නෝනා මාව බලන්න එනවා. මගේ ඇහැට කාචය දාලා දුන්නෙත් ඒ නෝනා” වැද්දන් අදද වෛද්‍ය ස්පිට්ල් සිහි කරන්නේ ගෞරවයෙනි.
වෛද්‍ය විද්‍යාවට වඩා වෛද්‍ය ස්පිට්ල් සේවය කර ඇත්තේ සාහිත්‍යයට යැයි විටෙක අපට සිතේ. ඒ සිතුවිල්ල එසේ වන්නේ ඔහු ලියූ පොත පත තවමත් අපේ මතකයේ ඇති බැවිනි. “සුදු ගෝනා” කියවූයේ බාල වියේදී ය. නමුදු සුදු ගෝනා තවමත් සුන්දර මතකයකි. වනයේදී හමුවන සුදුගෝනා දෙවන රාජසිංහ රජුගේ යුගයට සම්බන්ධ අපූරු කතාවකි. ඕලන්ද නැවක සිටි ‘හෑන්ස්’ නම් තරුණයා කැලයේ අතරමං වී සතුන් හා මිතුරු වෙමින්, ගඩා ගෙඩි කමින් ගෙවන අපූරු කතාව ස්පිට්ල් ලියන්නේ 1958 දී ය. එය අපේ ළමා මනසේ තවමත් සැරිසරන අදත් රසවිඳින කතාවකි. සුදු ගෝනා පමණක් නොව, මැකී ගිය දඩමං, වනසරණ ආදී වශයෙන් ස්පිට්ල් ලියූ කතා රැසක් සිංහලයට නැඟිණි. වෛද්‍ය ස්පිට්ල් ගැන බොහෝ මතකයන් අලුත්වන්නට වූයේ කිරිබත්ගොඩ මාකොළ ස්පිට්ල් බංගලාවට යන ගමනේදී ය. ස්පිට්ල් පිළිබඳ තොරතුරු සොයන විට ඔහු පිළිබඳ කියවූ ලිපියකවත් මෙම නිවෙස ගැන සඳහනක් හමුවූයේ නැත. තොරතුරු තිබුණේ කොළඹ ගුවන් විදුලිය ඉදිරිපිට ඇති ‘විචර්ලි’ බංගලාව ගැන පමණි. එසේ නම් අප මේ පැමිණි ගමනින් පලක් වේද? සිත ඇත්තේ දෙගිඩියාවකි.
“මේ තියෙන්නේ ස්පිට්ල්ගේ වත්තේ පැරණිම ළිඳ. මොන හේතුවකට ද දන්නේ නැහැ ඒක නම් තවම ඉවත් කරල නැහැ. මම මගේ ඉඩම ගත්තේ වෙන්දේසියකින්. මම පරණ පත්තිරු සෙව්වා. එතකොට තමයි දැන ගත්තේ මේ ඉඩම වෛද්‍ය ස්පිට්ල්ට අයිතිව තිබුණ බව. 2008 තමයි මං ගත්තේ. එතකොට අර පේන අධිවේගී මාර්ගය හදලා තිබුණේ නැහැ. ඒ හරියේ තිබුණේ ලස්සන කුඹුරු යායක්. අපේ ගෙවල්වලට හැරෙන පාර නම් කරලා තියෙන්නේ ‘ස්පිට්ල් ඇවනිවු’ කියලා. තව ටිකක් එහාට වෙන්න තමයි ස්පිට්ල් බංගලාව තියෙන්නේ. ඉස්සර මේක ගන කැලෑවක් ලු.”
ආචාර්ය දියමුල්ල අපට තොරතුරු කියන්නට විය.
ඉස්සර මෙය ගන කැලෑවක් නම් ගෝඹා ඇතුළු වැද්දන් එකල පැමිණ ඇත්තේ මේ බංගලාවට දැයි මට එක්වරම සිහිවිය. අක්කර පනහක් වූ භූමි භාගයේ දැන් තැනින් තැන නව නිවාස ඉදි වෙමින් තිබෙන්නේ ය. ඒ අලුත් මෝස්තරයේ නිවාසය. ඒ අතර පැරණි මෝස්තරයේ ගරා වැටුණු නිවෙස නෙතට ගෙනාවේ කඳුළකි.
මේ එක්තරා යුගයක් නියෝජනය කරන පුරා වස්තුවක් නොවේද? මේ නිවෙස වසර සියයකට වඩා පැරණි ඇතැයි බැලූ බැල්මට සිතිය හැකි ය. නිවෙස ආසන්නයට යාමට අසීරු ය. ඒ එහි සිටින බලු රෑන නිසා ය. වෛද්‍ය ස්පිට්ල්ට තවමත් ආදරය කරන අසල්වැසියකු අපට ස්පිට්ල් වත්තේ දී හමු විය. ඔහු දුලාන් යාපා ය.
“මම පොඩි කාලේ ඉඳලම ඩොක්ටර් ස්පිට්ල් ලියපු සුදු ගෝනා, මැකී ගිය දඩමං ආදී පොත් කියවලා තියෙනවා. ඒ පොත් නිසා තමයි මම ස්පිට්ල්ට ආදරේ කරන්න පටන් ගත්තේ. මේ ඉඩම ස්පිට්ල්ගේ වත්තක් කියලා දැන ගත්තාම හිතට පුදුම සතුටක් දැනුණා. ඒ බව දැන දැනම තමයි අපි මෙහෙට ආවේ. මේ බංගලාව සංරක්ෂණය කරනවා නම් තමයි හොඳ? මේ බංගලාව දකින කොට මට හිතෙනවා ස්පිට්ල් මහත්තයා මේ ගෙදර ඉඳගෙන තමයි සුදුගෝනා ආදී පොත් ලියන්න ඇත්තේ කියලා.” දුලාන් අපට පැවැසුවේ ගරා වැටුණ නිවෙස පෙන්වමිනි.
වසර ගණනාවක් පැරණි නිවෙස වටා අද ඇත්තේ නවීන පන්නයේ නිවෙස් ය. ස්පිට්ල්ගේ බංගලාවට මේ වනවිට අයිතිකරුවන් කිහිප දෙනෙකුම ඇතැයි යන්න වටපිටින් ලැබුණ තොරතුරු ය. අප එහි ගියේ ඒ පිළිබඳ සොයා බලන්නට නොවේ. එනිසා වසර ගණනාවක් තිස්සේ මෙම බංගලාව බලාගන්නා අය හමුවීමු.”
ඔහු සිය නම ගම කියන්නට මෙන් ම ඡායාරූපයකට පෙනී සිටින්නට ද අදිමදි කළේ ය.
“මම ස්පිට්ල් මහත්තයාගේ පොත් කියවලා තියෙනවා. ඒ පොත් හරි ලස්සනයි. ඉස්සෙල්ලාම මේ ඉඩම වෙන්දේසි කළේ සෙලින්කෝ එකෙන්. මං එතකොට එතැනින් වැටුපක් ගත්තා. ඊට පස්සේ මං වැටුපක් ගත්තේ නෑ කාගෙන්වත්. දැන් මමයි මගේ සත්තු ටිකයි මෙතැනට වෙලා ඉන්නවා. හරක් හතර පස් දෙනෙක් ඉන්නවා. උන්ගෙ ගොම ටික විකුණලා ලැබෙන කීයෙන් හරි ජීවත් වෙනවා. ඉස්සර මේ වත්තේ පොල් තිබුණා. පැරණි මිනිස්සු නම් කියනවා. ඉස්සර ස්පිට්ල් මහත්තයා මෙහෙ වැද්දෝ ගෙනැල්ලා පදිංචි කරගෙන හිටියා කියලා. දැන් මේ ගේ තියෙන්නේ පර්චස් 42 ක ඉඩමක. ගෙයි කාමර හතරක් තියෙනවා. තව දිගට කෑල්ලක් තිබුණා. ඒක කඩලා දාලා ඇතුළේ බල්ලෝ ඉන්නවා. උන්ට මම එක වේලයි කන්න දෙන්නේ. හාල් කිලෝ දෙකක් උයනවා. අහල පහල මිනිස්සු නම් කියනවා මේ ගෙදර භූත බලවේග තියෙනවා කියලා. මටත් වෙලාවකට එහෙම කියලා හිතෙනවා. ඒත් මං ඕවා ගණන් ගන්නේ නැහැ. හැම තිස්සෙම පිරිත් දාගෙන ඉන්නේ” මුරකරු බුලත් කහට පිරි දත් පෙන්නා හිනැහෙමින් පවසන්නේ ය.
නිවෙස ඇතුළට යාමට කොතෙක් ඇහුවද ඔහුගෙන් ඊට අවසර නොලැබිණි. ඒ ඇතුළේ සිටිනා බල්ලන්ගෙන් අපට අනතුරක් වේ යැයි ඔහු විශ්වාස කළ බැවිනි. පැරණි රෝහලක් මෙන් යැයි සිතිය හැකි අයුරින් ගොඩ නඟා ඇති ස්පිට්ල් බංගලාවේ මුළුතැන්ගෙය ඇත්තේ වෙනමය. බරාදය සහිත ඉස්තෝප්පුව කඩා බිඳ දමා ඇත. එහි තිබූ කබොක් ගල් වෙනම ගොඩ ගසා ඇත.
දැන් මෙහි අයිතිකරු යැයි කියන සුබසිංහ මහතාට අපි දුරකථනයෙන් ඇමතුවෙමු.
“මගේ තාත්තා බොහෝම හොඳ ගනුදෙනු කරුවෙක් කියලා දැන ගෙන තමයි ස්පිට්ල් මහත්තයාගේ දුව ක්‍රිස්ටින් මේ ඉඩම ඔහුට විකුණලා තිබුණේ.” ඒ සුබසිංහ පුත්‍රයා අපට පැවසූ තොරතුරු ය.
වෛද්‍ය ස්පිට්ල් යනු මෙරට එක්තරා යුගයකි. මා නැවත එසේ ලියමි. ඔහු තම අතින් වියදම් කරගෙන කැලෑවේ ඇවිද්ද ආදි වාසීන් හා ජීවත් වූ පරිසරයට ආදරය කළ පරිසරවේදියෙකි. වරක් කොළඹ නගර සභාව මුල්වී ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම ගැන දේශනාවක් පවත්වා ඇත්තේ ය. මෙහි ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ වෛද්‍ය ස්පිට්ල්ගේ දේශනයයි. මේ දේශනය අසා සිටි අගමැති ඩී.ඇස්. සේනානායක මහතා තුරුලතා හා වන සත්ව ආරක්ෂක ප්රඥප්තිය සකස් කිරීමට ස්පිට්ල් මහතා හා කරුණු සාකච්ඡා කළ බව පැරණි තොරතුරුවල සඳහන් වේ.
වන සත්ව දෙපාර්තමේන්තුව පිහිටීමට ද, විල්පත්තු අභයභූමිය ඇතිවීමට ද වෛද්‍ය ස්පිට්ල් මහතාගේ මැදිහත්වීම තිබූ බව එම යුගයේ ලියැවුණ ලිපිවල සඳහන්වේ. ‘ලෝරින්’ නමින් පරිසර සඟරාවක් ද ස්පිට්ල් මහතා එළිදක්වා ඇත.
ස්පිට්ල් බංගලාව දෑස් ඉදිරිපිට ම ගරා වැටෙමින් තිබේ. වෛද්‍ය ස්පිට්ල් මහතා අසූ පස් වැනි වියේදී මෙලොව හැර ගියේ ය. වසර සිය ගණනක් පැරණි මේ නිවෙසට හිමිකම් කියන ස්පිට්ල් පරපුරේ කිසිවෙක් දැන් සොයා ගත නොහැක. මෙය තවත් ගරා වැටී යාමට දෙනවාද? නැතිනම් සුරකිනවාද?
(විශේෂ ස්තූතිය කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණි චන්දිමා නිශ්ශංක මහත්මියට.)
ඉනෝකා සමරවික්‍රම සිළුමිණ පුවත්පතේ
සිත්මල් යාය අතිරේකයට ලියූ ලිපියකි
ඡායාරූප - ගයාන් පුෂ්පික
(පැරණි ඡායාරූප අන්තර්ජාලයෙන්)
ලෝකයේ වයස්ගතම නායකයන් දෙපොලක් තර`ග කරන ලද ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත්වන විට මෑත භාගය තුළ එරට වයස්ගතම පාලකයා බලයට පත් වනු ඇත. ඇමරිකානුවෝ අවස්ථා සොයා ගොස් අලූත් රටක් හදාගත් පිරිසකි. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථීක ක්‍රමය හ`දුන්වා දුන්හ. අලූතින් හැදෙන තාක්ෂණික යුගයේ ඇමරිකාවේ ස්වභාවය කෙබ`දු විය හැකිද යන්න අධ්‍යයනය කළ යුතුය. ජෝ බයිඩන් ගේ නායකත්වය ගෝලීයකරණයේ අද පවතින ව්‍යුහයට ගෙන එන උත්තරය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.
ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තිබේ. බලපෑම හා බලහත්කාරය ගැන විරසකයක් ද ඇත. එහෙත් මෙරට අපනයන ආර්ථීකයේ සෑහෙන පංගුකාරීත්වයක් උසුලයි. සීතල යුද්ධයට පසු වකවානුවේ ලෝකයේ බලවතා බවට පත්වන්නේ ඇමරිකාවයි. එහෙත් අද ස්වභාවය වෙනස්ය. සෝවියට් රුසියාව හා ඇමරිකාව අතර තිබුණ බලකාමීත්වය අද වෙනස් තැනකට පැමිණ ඇති අතර ඇමරිකා චීන දැවැන්තයන් අතර බල අරගලයක් තෙක් විහි දී තිබේ. මතුපිටින් අරගලයක ලකුණු පෙන්නුම් කරන නමුත් මෙම රටවල් දෙකටම එකිනෙකා ගේ සහාය අවශ්‍යය. බලවතුන් අතර එක`ගතා ඇතිවිය හැකි අලූත් අවකාශයක් තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම නිර්මාණය කරගත යුතු එකකි.
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ලැඛෙන අනාවරණ
ලෝකය තළ මෙතෙක් තිබුණ යුදකාමී සහ වෙළ`ද පොල අත්පත් කරගැනීමේ තර`ගය අභිබවා කොවිඩ් වසංගතයෙන් ගැලවෙන උවමනාව ඉදිරියට පැමිණ තිබේ. ඇමරිකාව දෛනිකව ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රට බවට පත්ව ඇත. වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වු බවට නිල වශයෙන් කියැවෙන පළමු රෝගියා ගේ සිට චීනය තද නිරෝධායන පාලනයක් ගෙන ගියේය. සමහර සිද්ධි පිටතට වාර්තා නොවන බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරන නමුත් චීනය සාර්ථකව යම් පාලයකට ගමන් කර තිබේ. වසංගත තත්ත්වය මැද ඇමරිකානු ජනාධිපතිවරණය අවසන් විය. ලෝකය කළඹන ලද ට්‍රම්ප් පරාජය වූ නමුත් ඔහු අවසන් මොහොත දක්වා පරාජය භාර ගැනීමට සූදානමක් නැති බව පෙනේ. වැඩිම ඡන්ද සංඛ්‍යාව වශයෙන් පමණක් නොව වැඩිම ඉලෙක්ටෝරියල් කොලේජ් ප්‍රමාණයක් ද දිනා ගනිමින් බැරැක් ඔබාමා පාලනයේ දී උප ජනාධිපතිධුරය හෙබැවූ ජෝ බයිඩන්, ඩිමෝක්‍රටික් පක්ෂ යේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත.
ජෝෂප් රොබිනේට් බයිඩන් 1972 වසරේ සිට ඇමරිකානු සෙනෙට් සභිකයෙකි. එකල හෙතෙම එරට ඉතිහාසයේ ලාබාලතම සෙනෙට් සභික ලැයිස්තුවේ හයවැනියාගේ තැන සිටියේය. වයස්ගතම පළමු පුරවැසියාගේ තනතුරට පත්වන අවස්ථාව වන විට ලෝකයේ පවතින සියළු හැල හැප්පීම් ගැන මනා පරිචයක බව නිසැකය. ඔහු ගේ ප්‍රතිපත්ති මිශ්‍ර ස්වභාවයක් ගනී. ගල්ෆ් යුද්ධයට විරුද්ධ විය. පසුව ඉරාකයට එරෙහිව සම්බාධක පනවන විට සහාය දුන්නේය. මත් ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය වෙනුවෙන් අණ පණත් පනවන අවස්ථාවේ පෙනී සිටියේය. හෙතෙම සිවිල් නිදහස ගරු කරන නායකයෙකු වශයෙන් ප්‍රකටය. ඔබාමා පාලන කාලයේ දී එරට අය වැය පාලනය සම්බන්ධයෙන් විනයක් ඇති කරන්නට උත්සාහ කළේය. පුරවැසියන්ගෙන් අය කරන ආදායම් බදු අඩු කරන නව අණ පනත් සම්මත කරන්නට සම්බන්ධ වී ඇත. ඔබාමා ජනාධිපතිවරයා විසින් සිට සගයාට නිදහස වෙනුවෙන් පුරවැසි සම්මානය 2017 වසරේ දී පිරිනැමීය. මෙවර ජනාධිපතිවරණ වේදිකාවට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැමිණි අතර බයිඩන් ගේ ජය වෙනුවෙන් පෙනී සිටියේය.
බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවේ දී
ජනාධිපතිවරණ වේදිකාවේ දී ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාටම චීනය බලවත් සාධකයක් විය. ට්‍රම්ප් කියා සිටියේ ලෝකයේ තැනින් තැන රදවා ඇති සේනාංක අඩු කරන නමුත් යුද වියදම් කපා හරින්නේ නැති බවය. චීනයේ අපනයන වලට පනවන ලද බදු කිසිසේත් අඩු නොකරන බව ප්‍රකාශ කළේය. එහෙත් ජෝ බයිඩන් ජාත්‍යන්තරය සමග හදාගත් ගැටුම් සියල්ල නැවත හදා ගන්නා බව කෙලින්ම කියා සිටියේය. ඇමරිකානු තර`ගකාරී රටවල් සමග සම්බන්ධතා තරකරගන්නා අතර චීන වෙළ`දාමට අහිතකර සේ පනවා ඇති බදු වෙනස් කරන බව දැක්වීය. චීනය නොසැලකිය යුතු රටක් නොවන අතර සියලූම අන්තර් ජාතික සම්බන්ධතා සම්බන්ධයෙන් වගවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ස`දහන් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පාලන කාලය තුළ සම්මතය අභිබවා තනි පැවැත්මකට ගියේය. හිතුවක්කාර තීරණ තමන්ගේ ට්ටිටර් ගිණුමෙන් හෙළිදරව් කරන ලද අතර සමීප පුද්ගලයන් පවා දැන සිටියේ නැත. ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය සමග ඇමරිකාව නැවතත් පැරිස් සම්මුතියට එ`ක`ග වීම සිදුවිය හැකිය. ට්‍රම්ප් ගේ තීරණයක් පරිදි කාලගුණ විපත් වලකන සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වූ අතර නිල වශයෙන් එය සිදුවෙන්නේ නොවැම්බර් 04 වන දා සිටය. පැරිස් සම්මුතියට ලෝකයේ සෑම රටක්ම අත්සන් තබා ඇති අතර ඇමරිකාව නැවත ඇතුළුවුවහොත් එය බයිඩන් ජනාධිපතිවරයාගේ පළමු නිල කාර්ය අතර එකක් විය හැකිය. අනෙක ලබන වසරේ ජුලි 21 වැනි දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ට්‍රම්ප් කරන ලද දැනුම් දීමය. කොවිඩ් වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ්ක්‍රියා කලාපය කමකට නැති බව කියා සිටි ට්‍රම්ප් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ගෙවන ආධාර නතර කරන බව දැනුම් දුන්නේය. ජාත්‍යන්තරය සමග තිබුණ ගැටුම් පිලිසකර කරන බයිඩන්ගේ ලැයිස්තුවට එය ද ඇතුලත්විය හැකිය.
ඉරානය ට පනවා ඇති න්‍යශ්ඨික බලය භාවිතා කිරීමේ වාරණය හා සම්බාධක ගැන සාකච්ඡා කරන්නට සුදානම් බව බයිඩන් ජනාධිපතිවරණ වේදිකාවේ දී අනාවරණය කළ තවත් කරුණකි. එය තවත් ව්‍යුහාත්මක වෙනස්කමකි. මේවා සමග මතුවන ලෝක චිත්‍රය අතිශය සංකීර්ණ මුහුණුවරක් ගනු නිසැකය.
ශ්‍රී ලංකාවේ සම්බන්ධතා සහ ඩයස්පෝරාවේ හැසිරීම
ට්‍රම්ප් තද ජාතිකවාදී ස්වරෑපයක ක්‍රියා කළේය. ඔහු ජය අත්පත් කරගත්තේ රට තුළ දුප්පත් ජනතාවට කරන ලද ආමන්ත්‍රණය සමගය. එහෙත් මෙවර ඡන්දය ප්‍රකාශ වූ ආකාරය අනුව ඔහු සිය ඡන්ද දායකයෝ වෙත නිසි සැලකිලක් දක්වා නැත. පදනම දියැවී ගියේය. ජෝ බයිඩන් උරුමක්කාර පුරවැසියන් පමණක් නොව වෙනත් රටවලින් පැමිණ ඇති අන්‍ය සම්භවයක් සහිත පිරිසට ද අත දිගු කර තිබේ. ඔහු ගේ උප ජනාධිපතිවරිය එයට එක සාධකයකි. උප ජනාධිපතිනිය වශයෙන් පත්වන කමලා හැරිස් ගේ හස්තය බලවත්ය. ඇය ගේ පියා ජැමෙයිකානු නමුත් මව ඉන්දියානු සම්භවයක් සහිතය. චෙන්නයි ප්‍රාන්තයට ඥාතිත්වයක් ඇති ඇයගේ මව වෙනුවෙන් ඉන්දියානුවෝ ඇතැමෙකු ගේ සහාය තිබුණ අතර සමහර කෝවිල්වල පොල් ගසන ලද බැතිමත්හු කමලා හැරිස්ට ජය අත්පත්කරගෙන දෙන සේ ප්‍රාර්ථනා කරන ලද බව ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිස්ම් පුවත් පත වාර්තා කර තිබුණි. කමලා හැරිස් කැලිෆෝනියාවේ සෙනෙට් නියෝජිතවරියක වශයෙන් 2017 වසරේ සිට ක්‍රියා කරන්නීය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ලිබරල් අදහස් සහිත පාලනයකට අන්තවාදී මතධාරීහු ඇමරිකාව තල්ලූ කර තිබේ. ශ්‍රී ලාකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව ද එහි එක කොටසක් බව අමතක කළ යුතු නැත. බයිඩන් හා කමලා හැරිස් ගේ ජය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් එයින් අනතුරුව හැරෙන දිසාව ගැන කල්පනා කළ යුතුය.
ස්විට්සරලන්තයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වූ අතර පසුව ශ්‍රී ලංකාව එහි සම කොටස්කරුවන් බවට පත්විය. අවසානයේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවෙන් ඉවත් වන බව දන්වා තිබේ. ඇමරිකාව එම යෝජනාවේ දී පාර්ශවකරුවෙකි. එම යෝජනාව මෙරටට බලපාන වැදගත් සන්ධිස්ථානයකි. කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව දැඩි තීන්දු තීරණ ගත හැකි එකක් නොවන නමුත් එය රටට සන්ධිස්ථානයකි. යෝජනාව සමග ජාත්‍යන්තර බලවතුන්ට ප්‍රවේශවීමේ දොරටුවක් විවර විය. නමුත් ට්‍රම්ප් පාලනය එය ගැන දක්වන ලද උනන්දුව සීමා සහිතය. වසර දහයකට පසු පවා, ශ්‍රි ලංකාවේ ජනවර්ග අතර ප්‍රශ්නයක් ඇතැයි ලෝක බලවතුන් අතර මතයක් තිබේ. දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි ඔවුහු කියා සිටිති. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙන් පසු එයට මූලික වූ ජන කොට්ඨාශයට සාධාරණ විස`දුමක් හිමි විය යුතු බව ඔවුන්ගේ අදහසයි. සත්‍ය කොමිසම, වන්දි ගෙවන ක්‍රමවේදය හා ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් තිබුණ න්‍යාය පත්‍රය තද කරන්නට අලූත් ඇමරිකාව උත්සාහ කරන්නේ ද යන්න අවධානයට ගැනීම සුදුසුය. එය කෙලින්ම කරන පීඩනයක් නොවිය හැකි අතර ඇමරිකාවට සම්බන්ධ රටවල් ලවා කරන බලකිරීමක් විය හැකිය. එයට කලින් රටට ගත හැකි තීරණ තිබේ.
ඇමරිකානු ආධාර වැඩ පිලිවෙල ගැන තීරණයක්
ජනාධිපතිවරණයට කලින් මෙරට පැමිණි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ස`දහනක් ද අමතක කළ යුතු නැත. දෙරට අතර ආයෝජන හා ආධාර වැඩ පිලිවෙල සම්බන්ධව විවෘත දොරටුවක් ඇති බව හෙතෙම ඉ`ගි කළේය. ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අදහසක් අනුව දියුණුවෙමින් පවතින රටවලට පමණක් හිමිවන මිලෙනියම් වැලෙන්ජ් අරමුදලේ සහාය මෙරටට හිමිවිය. ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයකි. එය පිටුපස ඇති යෝජනා බව හුවා දක්වමින් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී මෙරට දේශපාලන පක්ෂ මිලෙනියම් චැලෙන්ජ් ආධාර වැඩ සටහනට එරෙහි විය. පසුව ස්වාධීන කමිටුවක් පත් කළ අතර එම කමිටුව පවා ආධාර නොගන්නා ස්ථාවරයකට රට තල්ලූ කර තිබේ. ඇමරිකානු රාජ්‍ය නායකයෝ වෙනස් වූ පමණින් ප්‍රතිපත්ති වලට එපමණ බලපෑමක් නොවේ. නැවත වතාවකින් හො`ද හිත ඉදිරියට ගෙන යන්නට කෙලින්ම අදහසක් ඉදිරිපත් කිරීමට සිදුවෙයි. චීනයේ ආධාර වැඩ පිලිවෙල සහ ඇමරිකාවෙන් භාර නොගැනීම ගැන පවතින ගැටළුව සංකීර්ණ තත්ත්ව මතු කරන්නට ඉඩ තිබේ.
ඇමරිකන් ආධාර ප්‍රතික්ෂේප කරන එරට අදහස් හෙලා දකින ශ්‍රී ලංකාව ඇ`ගළුම් අපනයනය ඇතුළු අංශ වල දී ඇමරිකාවේ සහාය අපේක්ෂා කරයි. දැනටමත් වැඩිම ඇ`ගළුම් ප්‍රමාණයක් එනම් මෙරට ඇ`ගළුම් අපනයන වලින් සියයට තිස් පහක් ඇමරිකාවට අපනයනය කෙරේ. වියට්නාමය, බංගලා දේශය වැනි රටවල් ශ්‍රී ලංකාවේ ඇ`ගළුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තර`ගකරුවන්ය. මෙම රටවලට ඉදිරියෙන් ඇමරිකාවේ අලූත් පාලනය සමග සබ`දතා පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්විය යුතු බව පෙනේ. වඩා සමීප කරගතහොත් නරක පමණක් නොව වඩා විමර්ෂණශීලීව සබ`දතා තරකරගතහොත් අවස්ථාවක් ද උදා කරගත හැකිවනු ඇත. මෙරට දේශපාලනයේ අන්තවාදී ආකල්පවල පරස්පරතා දෙරට අතර පවතින බැ`දීම අවසානයේ දී තීරණය කරනු ඇති බව නිසැකය.
ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියකි.
දුප්පතුන්ගෙන් ඇරැඹී පොහොසතුන් ඇබ්බැහි වූ වීදි ආහාර
Written by Editor
වීදි ආහාරවල අතීතයට කිමිදීම සුවඳින් පිරි රාජකාරියකි. වර්තමාන 'ස්ට්‍රීට් ෆුඩ්' සංස්කෘතිය එදිනෙදා ජීවිතාංගයක් තරමට සමීප වී ඇති විට ලේයරයෙන්, ලේයරය ගලවා අතීතයට බැසීම ඇත්තෙන්ම සුවඳ විහිඳුවන ක්‍රියා පටිපාටියකි. වසර දහසකට එහා අතීතයේ ග්‍රීසියේ වීදිවල පුලුස්සන ලද මාංශ විකිණීමෙන් වීදි ආහාර සම්ප්‍රදාය ඇරැඹියා යැයි සැලැකේ. පුරාතන ග්‍රීසියේ දුප්පතුන් අතර මේ වීදි ආහාර අතිශය ජනප්‍රියව පැවැතියේ යැයි සඳහන්ය. උදුනක් හෝ ලිපක් මිලදී ගැනීමට තරම්වත් වත්කමක් නොමැති, නිවාස නොමැති මිනිසුන් අතර මේ වීදි ආහාර ජනප්‍රියව පැවැතියේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් විය යුතුය. පුරාතන චීනයේ වීදි ආහාරවල ඉලක්ක වෙළෙඳපොළ වී තිබී ඇත්තේ දුප්පත් මිනිසුන්ය. එහෙත් පෝසතුන් පවා තමන්ගේ අතවැසියන් වීදි වෙතට යවා ආහාර මිල දී ගෙන තමන්ගේ සුව පහසු නිවාස ඇතුළට වැදී රස බලා ඇත. ඒ තමන්ට අහිමි දුප්පතුන්ට හිමි විශේෂ විනෝදය කුමක්දැයි පරික්ෂා කර බැලීමට විය යුතුය. පුරාතන චීනයේද වීදි ආහාර යනු අතිශය ජනප්‍රිය සංස්කෘතිකාංගයකි.
වීදි ආහාර දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැතියකි. පැරීසියේ කුඩා කරත්තවල සහ කූඩාරම්වල පටවාගත් පේස්ට්‍රි වර්ග විකුණූ ඉතිහාසය පිළිබඳ කළු-සුදු පින්තූර සමඟ අතීතය පිවිසෙන්නට ඔබට ඉඩ ඇත. මේ පැරීසියේ පේස්ට්‍රි වර්ගවල පිරවුම් ද නූතන ඉවුම් පිහුම් වැඩකරුවන් අන්ද මන්ද කරවන සුලු ඒවාය. මාංශ සේම එළවළුද සමෝසමේ දමමින් සකසා ඇති පේස්ට්‍රි ඉතා සුළු මුදලකට මිල කර තිබී ඇත. විශේෂයෙන්ම කය වෙහෙසමින් වැඩ කරන කම්කරුවන් තමන්ගේ දෛනික වේතනයෙන් යම් මුදලක් වැයකොට මේවායෙන් ආහාර මිලදීගෙන ඇත. සුප්‍රකට 'ෆිෂ් ඇන්ඩ් චිප්ස්' ආහාර සංකලනයත් මෙකල අතිශය ජනප්‍රිය වූවකි.
පුවත්පතක ඔතන ලද රස වෑහෙන පුලුස්සන ලද මාළු සහ පිලිස්සූ අර්තාපල් තීරු එකල වෙනත් රස තීරුවක් වෙන් කරවාගෙන සිටින්නට ඇත. පුලුස්සන ලද මාළු ඉපැරැණි ඊජිප්තු වැසියන්ගේත් ප්‍රියතම ආහාරයක් වී තිබී ඇත. එතැනින් උතුරු අප්‍රිකාවටත්, ස්පාඤඤයටත් බෝ වුණ මාළු පිලිස්සුම් ක්‍රම ක්‍රමිකව වෙනත් රාජ්‍ය කරාද වෙනස් මාදිලිවලින් ව්‍යාප්ත වන්නට ඇත.
නාගරීකරණය හේතුවෙන් වීදි ආහාරවල මූලික වෙළෙඳපොළ සහ අරමුණ වෙනස් වී ඇත. එක්තරා කාලයක තම නිවෙසේ උදුනක් නැති නිසා දුප්පතුන් මිලදී ගත් වීදි ආහාරම තවත් කාලයක අධික කාර්යබහුලත්වය නිසා පෝසත් පුද්ගලයන් අතට විතැන් වී ඇත. ක්‍රම ක්‍රමයෙන් වීදි ආහාර ක්ෂණික ආහාර බවට රූපාන්තරණය වීම කලින් කියූ නාගරීකරණයේ එක් නරක ප්‍රතිඵලයකි. රැකියාවෙන් ගෙනෙන වෙහෙස, ගමන් වෙහෙස ආදී දහසක් කාරණා මැද නිවසේ ආහාර ඉවීමෙන් ඈත් වීමට පොදු තීරණයක් ගත් මේ නාගරික ජනයා පිසූ ආහාර මිලදී ගැනීමේ සංස්කෘතිය වෙත නොදැනුවත්වම සංක්‍රමණය වන්නට වූහ.
පිසූ ආහාර අතරත් ක්ෂණික ආහාර රැල්ලක් ලෝකය පුරා හමා යන්නට වූයෙන් ශරීරයට අහිතකර ආහාර බොහොමයක් සමාජගත වන්නට විය. මේ හරහා අධික ස්ථූලතාවයෙන් පටන් ගත් රෝග රැල්ලක් ද ලෝකය පුරා හමා ගිය බව කිසිවකුට අමතක කළ නොහැකිය.
රස නහර පිනවන, දිව පුලුස්සන රස සහිත ක්ෂණික ආහාර සමඟ කෙටි ආහාර පුරුදු ද ඉන් පසුව බෝ වන්නට විය. මේ බොහෝ දේ වෙළෙඳ උපක්‍රම මිස ඉල්ලුම සහ සැපයුම ඉටු කිරීමක්ද නොවේ. මේ බහුතරයක් වීදි ආහාරවල මිල ගණන් වෙනත් ආපනශාලාවලට වඩා අඩු වීමද අනෙක් විශේෂ කාරණයයි. ඉන්දියානුවන්ද මෙකී වීදි ආහාර සංස්කෘතියට වෙනත් රසකින් දායක වු තවත් රටකි. තල්ලු කරගෙන යන කරත්තවලින් ඇරැඹුණු ඉන්දීය වීදි ආහාර සංස්කෘතියේ ජනප්‍රිය අංග රාශියකි. බටහිර බහුතර ආහාර වර්ග ඉන්දියානු ක්‍රමයට යහමින් මසාලා දමමින් සැකසීම හේතුවෙන් ඔවුන් නොමැකෙන සටහනක් තබා ඇත.
ඔවුන්ගේ ආහාර සංස්කෘතිය ඇතුළත ඇති අන් තැනක නැති අපූර්වත්වය ඊට හේතු වන්නට ඇත. එබැවින් වීදි ආහාර ඉතිහාසය සේම එහි වර්තමානයත්, අතීතයත් ගැන කතා කරන විට අපට ඉන්දියාව අතහැරිය නොහැකිය. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2012දී නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියානුවන් බිලියන 2.5ක් දෛනිකව වීදි ආහාර අනුභව කරයි. මේ වාර්තා තරමක් පුදුමය ඇති කරවන සුලුය. වසරක් පාසා දිල්ලියේ පැවැත්වෙන වීදි ආහාර උළෙල මේ සඳහා හොඳම උදාහරණයකි.
කෙසේ නමුත් මෙතුවක් කාලයක් රට රටවල වීදි ආහාර සංස්කෘතියක් නොනැසී පවතින්නේත්, වැඩී වර්ධනය වන්නේත් නොනවත්වාම ඒ ආහාර මිලදී ගත් මිනිසුන් හේතුවෙනි. ඔවුන් නොදැනුවත්ව සෑම රටකම වීදි ආහාර සංස්කෘතියට වැඩෙන්නට පොහොර සපයා ඇත. වීදි ආහාර යනු සෑම රටකම මිනිසුන්ගේ ආහාර තෝරා ගැනීමේ වඩාත්ම දියුණු අවස්ථාව ලෙස හඳුන්වා දුන හොත් එහි කිසිදු වරදක් නැත.
කාංචනා අමිලානි
-Dinamina-