Editor

Editor

මනෝජ් මල්ලි තමයි අපේ පවුලේ බඩපිස්සා. සුදුම සුදුයි. කැරලි කොණ්ඩෙ. අපේ අම්මගෙ ලස්සන එහෙම පිටින්ම ගිහින් තිබුණේ මල්ලිට. ඒ නිසාම පවුලේ අපි විතරක් නෙවෙයි දකින අයත් ඒ ලස්සන හුරතල් දරුවට ගොඩක් ආදරේ කළා. මට අවුරුදු 18ක් විතර වෙනකොට අපේ ගෙදරට අමුත්තෙක් යන්න එන්න ගත්තා. ඒ මගේ අනාගත සහකරු සනත් නන්දසිරි. මහත්තයත් මල්ලිට ගොඩක් ආදරේ වුණා. මල්ලිත් එහෙමයි. ඒ දවස්වල මහත්තයා අම්පාරේ උහන මහා විද්‍යාලයේ උගන්වනවා. එයාගේ තබ්ලාව නුගේගොඩ අපේ ගෙදර තියලා යන්නේ. මට ඒක හරිම වටින වස්තුවක්.

 

මම තබ්ලාව හොඳට වහලා හඳුන්කූරු දුම් අල්ලලා තමයි කාමරේ තියන්නෙ. අපේ දඟකාර බඩපිස්සා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් හොරාට ඒ කාමරේට රිංගලා දඩබඩ දඩබඩ ගාලා තබ්ලාවට ගහගෙන ගහගෙන යනවා. මට ඉතින් හරිම කේන්තියි. මහත්තයා සති අන්තයේ ගෙදර ආවම මම එයාට කිව්වා මෙයා ගහලා තබ්ලාවට මොනව හරි වෙයිද දන්නෙ නෑ කියලා. මහත්තයා තරහ ගත්තෙ නැහැ. ආදරෙන් මල්ලිට ළඟට අඬගහලා “ඔයා තබ්ලා එක ගහන්න ආසයිද ” කියලා ඇහුවා. මල්ලි ගත් කටටම “හා” කිව්වා. මල්ලි තබ්ලාව කඩයිද කියල මට බයත් හිතුණා. මහත්තයා අපේ මමී එක්කත් කතාකරගෙන මල්ලිට තබ්ලාව පුරුදු කරන්න ලෑස්ති කරගත්තා.

ඊළඟ සතියේ සිකුරාද දවසක මහත්තයා වේලාසන ගෙදර ආවා. මමී කිරිබත් හදලා කෙසෙල්, කැවිලි ලෑස්ති කරලා තිබුණා. සුවඳ දුම් අල්ලලා තිබුණ තබ්ලාව ළඟ මල්ලි හරිම ආසාවෙන් ඉඳගත්තා. මහත්තයා පාඩමක් කියලා දීලා ඇක්සයිස් පොතක ලියන්නත් දුන්නා. ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හොඳට ප්‍රැක්ටිස් කරලා ලබන සතියේ ආවම ගහලා පෙන්නන්න කිවුවා. එදා හා පුරා කියලා මහත්තයා අපේ හුරතල් බඩපිස්සගේ අත තම්බලාවට තිබ්බා තිබ්බම තමයි. අද එයා ඉන්න තලයට එන්න පුළුවන් වුණේ මගේ මහත්තයාගේ ආශිර්වාදයයි මගෙ මල්ලිගෙ පිනටයි.”

ඇය කියන්නේ සෙහෙනසින් හදවත ම පුරවාගෙනය. ඒ ආදරණීය සහෝදරිය ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද මල්කාන්ති නන්දසිරිය. මෙවර අක්කා-මලෝ විශේෂාංගය සරසන්නේ අක්කලා සිවුදෙනකු සහ අයියා කෙනෙකුගෙන් යුතු පවුලක බඩපිස්සෙකි. ඔහු විශාරද මනෝජ් පීරිස් ය. ඔහු මල්කාන්ති නන්දසිරි, කුමාර් පීරිස්, නිර්මලා රණතුංග, නිරංජලා සරෝජිනි, සකුන්තලා යන සොයුරු සොයුරියන්ගේ දයාබර මලණුවන් වන අතර මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද විජේරත්න රණතුංග හා ප්‍රවීණ ගායන ශිල්පී අබේවර්ධන බාලසූරියගේ මස්සිනාය. එදා හුරතල් දරුවකු ලෙස මහාචාර්ය සනත් නන්දසිරි වෙතින් තබ්ලා වාදනයේ මුල් පොත කියවූ ඔහු අද රටත් ලෝකයත් හඳුනන දක්ෂ තබ්ලා වාදන විශාරදයෙකි. ඔහු ලබා තිබෙන දෙස් විදෙස් සම්මාන සහ ගෞරව නාම රැසකි. චිත්‍රපට 3ක් සහ ටෙලිනාට්‍ය 2ක් ද සංගීතවත් කර ඇති විශාරද මනෝජ් පීරිස් වසර 15ක් තිස්සේ ස්වාධීන රූපවාහිනියේ ‘චැට් ඇන්ඩ් මියුසික්’ වැඩ සටහන සංගීතවත් කරයි. ඊට අමතරව ජනප්‍රිය රූපවාහිනි නාළිකාවක රියැලිටි වැඩසටහන් දෙකක් සහ තවත් රූපවාහිනී නාළිකා දෙකක වැඩසටහන් දෙකක් සංගීතවත් කරයි. 1986 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ සහ ෆෝචූන්ස් වාදක කණ්ඩායමේ සාමාජිකත්වය දැරූ ඔහු කලක් ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කළේය. පණ්ඩිත් අමරදේවයන්, විශාරද නන්දා මාලිනිය ඇතුළු කලා ශිල්පීන් රාශියක් සමඟ මේ වන විට රටවල් 42ක සංචාරය කරමින් වාදනයෙන් සහාය වී ඇති විශාරද මනෝජ් පීරිස් රයිගම් සම්මාන උළෙලේ එක්වරක් පමණක් පිරිනමන ලියෝනි කොතලාවල සම්මානය මෙවර ලබාදීමට නියමිතව තිබුණේ ද විශාරද මනෝජ් පීරිස්ටය. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම සම්මාන උළෙල නොපැවැත්වුවද එය තමාගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක් බව ඔහු කීවේය. තබ්ලා වාදනය පිළිබඳ ඔහු විසින් රචිත ශාස්ත්‍රීය කෘතිය එම්.ඩී. ගුණසේන ප්‍රකාශනයක් ලෙස ළඟදීම එළිදැක්වීමට නියමිතය. විශාරද මනෝජ් පීරිස් බාල වියේ සොඳුරු මතක අවදි කළේ මෙලෙසනි.

“අපේ පප්පගේ ගම මොරටුවේ. මමී නුගේගොඩ. මට මතක ඇති කාලේ ඉඳලම අපි පදිංචි වෙලා හිටියේ නුගේගොඩ. මම ඉස්කෝලේ ගියෙ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයට. අපේ පප්පා හැරිසන් පීරිස් කාලයක් මැසෙන්ජර් පුවත්පතේ කර්තෘ විදිහට වැඩ කළා. මමී රෙජිනා පීරිස්. පප්පට ඒ දවස්වල එකෝඩියන් එකක් තිබුණා. පප්පා ඒක ප්ලේ කරද්දි අක්කලා හතරදෙනාම සින්දු කියනවා. අයියා නම් සංගීතය පැත්තට එච්චරම නැඹුරුවක් තිබුණේ නැහැ. හැබැයි එයා හොඳ ආට්ස්ට් කෙනෙක්. ඒත් අයියා කලා ක්ෂේත්‍රයට යොමු වුණේ නැහැ. අදටත් ඔහු වෙනත් ක්ෂේත්‍රයේ රැකියාවකයි නියැළී ඉන්නෙ”

ගායනයට උපන් හපන්කම් දැක්වූ සහෝදරියන්ගෙන් කලා ජීවිතයට ලැබුණු ආලෝකය ගැන විශාරද මනෝජ් පීරිස් සිහි කළේ සතුටිනි.

“ලොකු අක්කා මල්කාන්තිගේ සැමියා මහාචාර්ය සනත් නන්දසිරි තමයි මගේ සංගීත ජීවිතයේ මුල් ගුරුතුමා. මම සනත් අයියගෙ තබ්ලාව හොරෙන් ගහනවා කියලා අක්කා කිව්ව සිද්ධිය මටත් අද වගේ මතකයි. ඒ කාලේ අක්කලා එක්ක මමත් ළමා පිටියට යනවා. අක්කලා සින්දු කිව්වට මගෙ ආසාව තිබුණේ තබ්ලාවට. නිර්මලා අක්කා විවාහ වුණු විජේරත්න අයියා නිසා ඒ ආසාව තවත් වැඩි වුණා. “

ඔහු එහෙම කියද්දී පවුලේ ආදරණීය බඩපිස්සා ගැන මල්කාන්ති අක්කා මෙසේ කීවාය.

“පුංචි කාලේ මල්ලි හරිම දඟකාර චරිතයක්. අපේ ගේ තිබුණේ පාර අයිනෙ. ඉස්කෝලේ ඇරිලා ආව ගමන් පාරට දුවනවා බෝල ගහන්න. සරුංගල් අරින්නත් හරි කැමතියි. කොච්චර දඟ වුණත් මල්ලි පොඩි කාලේ ඉස්කෝලේ වැඩ හරියටම කරපු දරුවෙක්. එයාට උගන්වන්න අපි පස් දෙනෙක්ම හිටියා. ඒ නිසා එයා ඉගෙනීමේ කටයුතු හොඳින් කළා. මල්ලිගේ ජීවිතේ එයා වැඩිපුරම ආදරේ කළේ මමීට. මමීගේ මරණය එයාගේ ජීවිතේට ගොඩක් බලපෑවා. විශාල වේදනාවක් වින්දා. සිහියත් නැති වුණා මට මතකයි. මමීගේ, පප්පගේ වියෝවින් පසුව මල්ලි ගොඩක් හැදුණේ වැඩුණේ මගෙ ළඟ. මටත් මහත්තයාටත් මල්ලි දරුවෙක් හා සමානයි. අපේ දුව අනුරාධාටත් එයා හරිම ආදරෙයි. දුවත් එහෙමයි. දෙන්නා වෙලාවකට යාළුවො වගේ. මල්ලි නිතරම මගෙ අවවාද අනුශාසනා පිළිගන්නවා. ගායනයට කැමැත්තක් තිබුණට එයාට ඒකට ලොකු හැකියාවක් තිබුණේ නැහැ. මට හිතෙන්නෙ එයාගේ අත්දෙක හැදිලා තියෙන්නෙම තබ්ලා වාදනයටම තමයි. මල්ලි අද සිටින තත්ත්වය ගැන මමත් මහත්තයාත් අපේ පවුලේ හැමෝමත් ලොකු සතුටක් විඳිනවා. අපිට තාමත් එයා අපේ චූටි මල්ලිම තමයි. ඒ තරම් ම ආදරණීය චරිතයක්”

ඊළඟට ඔහු ගැන ආදරණීය මතකය අවදි කළේ ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නිර්මලා රණතුංග ය.

“ඒ කාලේ අක්කලයි අයියලයි ක්‍රිකට් සෙල්ලම් කරද්දි මල්ලිව සෙල්ලමට ගන්නෙ නෑ එයා පොඩි නිසා. මල්ලි ගිහින් තරහට විකට් ගලවනවා. එතකොට මමී කියනවා අනේ පව් මල්ලිවත් සෙල්ලමට ගන්න කියලා. ඉතින් අක්කලාටයි අයියටයි දුකයි මල්ලි ගැන. විවාහ වුණාට පස්සේ මම පදිංචි වෙලා හිටියේ කැලණියේ. එහෙ ඉඳන් ගෙදර ආපු ගමන් මම කරන්නේ මල්ලිව නාවන්න එක්ක යන එක. චූටි කාලේ මල්ලි නාන්න ටිකක් හොරයි. ඉතින් මමී මට කියනවා මල්ලිව ඇදගෙන ගිහින් නාවන්න කියලා. මම කතා කළාම මල්ලි නාන්න යන්න එනවා. ඒක තමයි මට මල්ලිගේ චූටි කාලේ ගැන තියෙන හොඳම මතකය”

ඇය පැවසුවේ සිනාසෙමිනි. ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී ද සොහොයුරා ගැන මතකය අවදි කළේ සෙනෙහසිනි.

“ පවුලේ බාලයා නිසා මල්ලි හරිම හුරතල්. ඒ වගේම හුරුබුහුටියි. අපි පස්දෙනාම මල්ලිට ගොඩක් ආදරේ කළා. දඟ කළත් දඬුවමක්වත් දෙන්න හිතෙන්න නැති තරම් හුරතල්. කලාවට යොමුවෙයි කියලා නම් ඒ කාලේ හිතුණේ නැහැ. නමුත් පවුලේ පසුබිම එක්ක එයාටත් ඒ ආශාව ඇතිවුණා. මමයි අබේයි තමයි මල්ලිව මුලින්ම ඇමෙරිකාවේ සංචාරයකට එක්ක ගෙන ගියේ. අදටත් අපි හැමෝම මල්ලිට ආදරෙයි වගේම මල්ලිත් අපිට ආදරෙයි. එයා ආගමට ගොඩක් ලැදියි. දෙවියන් වහන්සේ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. වැඩිහිටියන්ට සලකන ගුණගරුක කෙනෙක්. විහිළු තහළු කළාට එයා අපේ පප්පා වගේ නිහඬ, තැන්පත් චරිතයක්. ඒ වගේම හරිම ලැජ්ජාශීලීයි. ”

කුමාර් අයියාට මෙන්ම සකුන්තලා අක්කාට ද මනෝජ් මල්ලී ගැන ඇත්තේ එවැනි සොඳුරු මතකයන්ය. ඒ අතර අක්කලා මෙන්ම අයියා ද ආදරණීය මල්ලී ගැන සිත් තැවුලින් සිටින කරුණක් ද වේ. ඒ ගැන මල්කාන්ති නන්දසිරි පැවසුවේ දොම්නසිනි.

“ මට තියෙන එකම වේදනාව එයා සහකාරියක් සොයාගන්න මැළිකමක් දැක්වීමයි. එයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. නමුත් තෝරා ගැනීම ගැන මොකක් හරි ප්‍රශ්නයක් තිබෙන නිසා වෙන්නැති තවම විවාහයක් සිදු නොවුණේ. එයාට කිසිම අඩුපාඩුවක් නැහැ. ජීවිතේ හැමදේම තිබිලත් ඒ දේ විතරක් නොලැබේවිද කියලා හිතද්දි ගොඩක් දුකයි. එයාව ආදරෙන් බලාගන්න සහකාරියක් එයා ළඟ සිටිය යුතුයි කියලයි මම හැමවෙලාවෙම හිතන්නේ”

ඒ වදන් මවුවත්කමින් පිරී තිබේ. සහෝදරියගේ ඒ සෙනෙහස ළඟ ඔහු ද හැඟීම්බරය.

” මමී නැතිවුණාට පස්සේ හැමදේටම මං ළඟ හිටියේ අක්කලා. විශේෂයෙන් මල්කාන්ති අක්කා මට අම්මා වගේ. 2006 වෙනකම් මම මල්කාන්ති අක්කා ළඟ හිටියේ. අක්කලා හතර දෙනාටත් අයියටත් මම එදා වගේම ආදරෙයි. ඔවුනුත් එහෙමයි. අක්කලා විවාහ වුණාට පස්සේ මට ඔවුන් නිතර ළඟ නැති අඩුව දැනුණා. ඒත් කාලයත් එක්ක ඒ පාළුවට මම පුරුදු වුණා. සමහර වෙලාවට තනිකම කියන්නේ දරාගන්න ගොඩක් අමාරු දෙයක්. නමුත් දැන් ඒකට පුරුදු වෙලා. තනිකමත් සුන්දරයි කියලා හිතෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි හැමදේම සිදුවෙන්නෙ කියලා මම විශ්වාස කරනවා.”
උපුටා ගැනීමකි.

සුරේකා නිල්මිණි ඉලංගකෝන්
 රසඳුන 

රටේ රාජාණ්ඩුව විවේචනය කරන කණ්ඩායමක් අවහිර කිරීමට තායි රජය බල කිරීමත් සමඟ ෆේස්බුක් ආයතනය   ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් සිටී.

ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගම කියා සිටියේ තායිලන්තයේ පරිශීලකයින් රාජකීය කණ්ඩායම් විවේචනය කිරීමට  පිවිසීම වැළැක්වීමට තායි රජය විසින් බල කර ඇති බවයි -  ඒ අනුව අදාළ කණ්ඩායමට ප්‍රවේශ වීමට උත්සාහ කළ පරිශීලකයින්ට සඳුදා රාත්‍රියේ සුවිශේෂී පණිවිඩයක් ලැබුණි: “ඩිජිටල් ආර්ථික හා සමාජ අමාත්‍යාංශයේ නීතිමය ඉල්ලීමකට අනුව තායිලන්තය තුළ කණ්ඩායමට ප්‍රවේශ වීම සීමා කර ඇත.” යනුවෙනි. සාමාජිකයින් මිලියනයක් සිටින කණ්ඩායමක (facebook Grup) තායි රාජකීය පවුල පිළිබඳ ලිපි ඇතුළත් වේ. මෙම කණ්ඩායම අන්තර්ජාතික ලෙස අවහිර කරන ලෙස හා ඉවත්කරන ලෙස රජය ඉල්ලා ඇත.ෆේස්බුක් පසුව කියා සිටියේ රජයේ මෙම අන්තර්ගතය නීති විරෝධී යැයි සැලකූ බවයි.

“මෙවැනි ඉල්ලීම් දැඩි, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට පටහැනි වන අතර මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි” යනුවෙන් ෆේස්බුක් ප්‍රකාශකයෙක් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය. "අපි සියලු අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කිරීමට කටයුතු කරන අතර මෙම ඉල්ලීමට නීත්‍යානුකූලව අභියෝග කිරීමට සූදානම් වෙමු." යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

රජය විසින් අදාළ ෆේස්බුක් කණ්ඩායම අවහිර කරන ලද පුවත මුලින්ම වාර්තා කළේ රොයිටර්ස් විසිනි.

ෆේස්බුක් (එෆ්බී) කියා සිටියේ තායිලන්තයේ ෆේස්බුක් නියෝජිතයින්ට එරෙහිව අපරාධ නඩු පැවරීමට රජය තර්ජනය කිරීමත් සමඟ රට තුළ යම් ආකාරයක දේශපාලන කතා සීමා කරන ලෙස තායි රජයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.නමුත් "තායිලන්තයට තමන්ගේම නීති ඇති අතර සෑම රටකම නීතිවලට ගරු කළ යුතුය."

තායි නීතියට අනුව, රජු, රැජින, උරුමක්කාරයා හෝ සම්බන්දිතයින් යන අයට අපහාස කිරීමෙන් වසර 15 ක සිර ද දඩුවමක් නියම විය හැකිය. සාමාන්‍ය තායි පුරවැසියන්ට මෙන්ම රජයටද රජු වෙනුවෙන් චෝදනා ඉදිරිපත් කළ හැකි බැවින් නීතිය දේශපාලන මෙවලමක් ලෙස වැඩි වැඩියෙන් භාවිතා කර ඇත. එසේ තිබියදීත්, විරෝධතාකරුවන් දහස් ගණනක් මෑත දිනවලදී රටේ අගනුවර වන බැංකොක්හි වීදි බැස ඇත.

සෑම දෙනාගේම සත්‍යයේ බේරුම්කරුවා වන facebook, රටේ රාජාණ්ඩුව විවේචනය කරන කණ්ඩායමකට තායිලන්තයට පිවිසීම තහනම් කර ඇති බව ද ගාඩියන් පුවත්පත වාර්තා කරයි. තායි රජය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කිරීමෙන් පසුව ෆේස්බුක් කණ්ඩායම අවහිර කළේය. 

රාජකීය වෙළඳපොල හෙවත්  Royalist Marketplace නම් මෙම කණ්ඩායම ආරම්භ කරනු ලැබුවේ ජපානයේ වෙසෙන තායි විරුද්ධවාදියෙකු වන පවින් චචවල්පොන්පන් විසිනි. පවින් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ ෆේස්බුක් “ප්‍රජාතන්ත්‍රවාදයට බාධා කිරීම සහ තායිලන්තයේ අධිකාරීවාදය වර්ධනය කිරීම සඳහා ඒකාධිපති පාලන තන්ත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කරන” බවයි.

කෙසේවෙතත් රටක අභ්‍යන්තර නීති හා ෆේස්බුක් නීති ගැටීම පෙන්නුම්කරන  මෙම සිදුවීම් පිලිබඳ  ජාත්‍යන්තර කතාබහක් නිර්මාණය වෙමින් තිබේ.

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇති බව සහ ඒ සම්බන්ධ නව යෝජනා පිළිබඳව, වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති ගෝඨාභ⁣ය රාජපක්ෂ මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී සාකච්ඡාවට ලක්විය.

දුම්බීම නිසා මානසික රෝග ඇතිවන බව මනෝ වෛද්‍ය විශේෂඥ අමිල ඉසුරු මහතා පවසයි.

2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරී පණතට අනුව දුම්කොළ අඩංගු විට වර්ග විකිණීම ,ප්‍රදර්ශනය කිරීම සහ මහජනතාවට පෙනෙන සේ දුම්වැටි භාවිතය ශ්‍රී ලංකාව තුළ සපුරා තහනම් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරීයේ සභාපති, ආචාර්ය , වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

 

ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා.

පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඞ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ මුලික ක‍්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ”ට්විටර්” සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

සිංහරාජය,ලංකාගම යන වචන මේ දිනවල ලාංකීය සමාජය තුළ වැඩි වශයෙන් භාවිතා වන වචන බවට පත්ව ඇත.ඒ නෙළුව – ලංකාගම – දෙනියාය මාර්ගය සංවර්ධනය කිරීමට ආරම්භ කිරීමත් සමඟිනි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගෙන් ලංකාගම ගම්වාසීන් කරන ලද ඉල්ලීමකට අනුව එම මාර්ගයේ සංවර්ධන කටයුතු පසුගියදා ආරම්භ විය.නමුත් පරිසරපරිසරවේදීන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතුවලට විරෝධය පළ කිරීමත් සමඟ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතා දැමීමට ජනාධිපතිතුමන් විසින් තීරණය කර ඇත.

නෙළුව සිට රක්වාන දක්වා මාර්ගය 1970-1977 කාලයේ දී ලකුණු කළ මාර්ගයක් බව ලංකාගම ජීවත්වන වැඩිහිටියන් පෙන්වා දෙයි.ඔවුන් පවසන ආකාරයට මෙම මාර්ගය ඉතාමත් පැරණි මාර්ගයකි.ලංකාගම සිට දෙනියාය දක්වා ප්‍රධාන මාර්ග දෙකක් ඇති අතර ලංකාගම සිට සිංහරාජ පිවිසුම් දොරටුව අසලින් පිටදෙණිය හරහා දෙනියාය දක්වා දැනට යතුරුපැදි පමණක් ගමන් කළ හැකි රක්ශිතය මැදින් වු මාර්ගය සහ ලංකාගම සිට දොඹගොඩ හරහා දෙනියාය දක්වා වූ දැනට ට්‍රැක්ටර් රථ වලට පමණක් ගමන් කළ හැකි මාර්ගය යනු එම මාර්ග දෙකයි.ඒ අනුව මේ වන විට සංවර්ධනය කිරීමට ආරම්භ කර ඇත්තේ මෙම දොඹගොඩ හරහා දිවෙන ට්‍රැක්ටර් රථවලට පමණක් ගමන් කළ හැකි අඩි 10ක පළලකින් යුතු මාර්ගයයි.

ගම්වාසීන් පවසන්නේ තමන් ඉතාමත් දුශ්කර ජීවිතයක් ගත කළ ද වෙනත් පහසුකම් වලට වඩා තමන් ඉල්ලා සිටින්නෙ ප්‍රධාන නගරයන්ට ලඟා විය හැකි මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස පමණක් බවයි.නිසි පරිදි සංවර්ධනය කරන ලද මාර්ගයක අවශ්‍යතාවය තම ගම්වාසීන්ට තදින්ම දැනෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.තම ඉල්ලීම අනුව ජනාධිපතිතුමා මෙම මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කළද විවිධ පිරිස් විසින් කරුණු හරි හැටි නොදැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් මාර්ගය සංවර්ධනය කිරීමේ කකටයුතු නතර කිරීමට උත්සහ කරන බව තවදුරටත් ගම්වාසීන් පවසයි.

තම දුශ්කරතා පිළිබඳ අදහස් දක්වමින් ලංකාගම පදිංචි සුමිත් චන්දන මහතා ” මේ මාර්ගය ඉතාමත් පැරණි මාර්ගයක්.අවුරුදු පන්සියයකටත් වඩා පැරණි මාර්ගයක් මේක.1970 -77 කාලෙදි නෙළුවේ ඉඳලා රක්වානට යන්න ලංකාගම හරහා පාරක් ලකුණු කරා නමුත් ඒ කාලේ හැටියට පාර සංවර්ධනය කරන්න හැකි වුණේ නැහැ.නමුත් මේ පාර මිනිස්සු තමන්ගේ ගමන් බිමන් වලට භාවිතා කරා.දැන් නැවත් සංවර්ධනය කරන්න සූදානම් වෙන්නේ ඒ මාර්ගයයි.පස්සේ කාලෙකදි මේ පාර බලන්න දේශපාලඥයන් ආවා.පාර හදලා දෙන්න කිව්වට කිසිම කෙනෙක් හදලා දු.ලංකාගම පාසලේ ගොඩනැගිලි විවෘත කරන්න පියසේන ගමගේ හිටපු ඇමතිතුමා පැමිණි වෙලාවකත් ඒ විදියට පාරේ ඇණ තියලා තිබුණා.මේ වගේ අවස්ථා කිහිපකදීම විවිධ පිරිස් මේ වැඩසටහන් කඩාකප්පල් කරන්න උත්සහ ගත්තා.ගම්වාසීන් විදියට අපි දේශපාලන අධිකාරීයට නිතරම දැනුම් දුන්නා අපිට පාරක් හදලා දෙන්න කියලා.නමුත් අපිට කිසිම කෙනෙක් සාධාරණයක් ඉටු කරේ නැහැ.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ ඉල්ලීම අහලා අපිට පාර හදලා දෙන්න පොරොන්දු වුණා.ඒත් දැන් ඒකටත් විරුද්ධව කටයුතු කරනවා ඇතැම් අය.අපි ඉල්ලන්නේ පාර හදලා දෙන්න කියලා.අපි මේ විඳින දුකට සාධාරණය ඉටු කරන්න කියලා”.

මෙම ගැටළුව පිළිබඳ අදහස් දක්වමින් ලංකාගම පදිංචි …… පැවසුවේ ” ලංකාගම කියන්නේ අති දුශ්කර ගම්මානයක්.අපි ගෙවන්නේ ඉතාමත් කටුක ජීවිතයක්.යන්න එන්න පාරක් නෑ.දුරකථන ඇමතුමක් ගන්න සිග්නල් නෑ.ලඟ පාතක රෝහලක් නෑ.ලෙඩක් හැදුනාම රෝහලට යන්න පැය දෙක තුනක් යනවා.දරුවෝ පාසලට යන්න පැය ගණන් කිලෝමීටර හතක් අටක් යන්න ඕන පයින්.බස් එකකටවත් යන්න බැහැ මේ තියෙන පාරේ.මේ ගැටළු නිසයි අපි පාරක් ඉල්ලුවේ.ජනාධිපතිතුමා අපේ ඉල්ලීමට කන් දීලා අපේ පාර සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කළා.නමුත් දැන් පරිසරවේදීන් කියාගත්තු පිරිසක් මේ මාර්ගය හදන්න එපා කියලා බලපෑම් කරනවා.ඉස්සර ලංකාගම කිව්ව්ම කවුරුවත් දන්නේ නෑ කොහේ තියෙන ගමක්ද කියලවත්.ඒත් දැන් සමාජ මාධ්‍ය වල පවා ඉතාමත් ප්‍රසිද්ධ ගම්මානයක් බවට පත් වෙලා අපේ ගම.සමාජ මාධ්‍ය වල සිංහරාජය ආරක්ෂා කරන්න ලංකාගමට පාරක් ඕන නෑ කියන කිසිම කෙනෙක් මේ ගමට ඇවිත් නැහැ.මේ ගම ගැන දන්නේ නැහැ.ඔවුන් කරන්නේ තමන්ගේ වාසිය වෙනුවෙන් තවත් කෙනෙක් කියන දෙයක් ප්‍රචාරය කරන එක විතරයි.මේ ගමේ මිනිස්සු පාරක් නොමැතිකම නිසා කොයිතරම් අසරණ වෙලාද කියලා ගමට ඇවිත් බලන්න කියලා අපි ඔවුන්ට ආරාධනා කරනවා.ලංකාගම ඉන්නේ සිංහරාජය රැකගත්තු මිනිස්සු.පරිසරපරිසරවේදීන් කියලා කෑ ගහන ඊනියාකරයින්ට වඩා වනාන්තරයට පරිසරයට ආදරේ මිනිස්සු මේ ගම්වල ඉන්නේ.තමන්ගේ තේ දළු ටික කම්හලට ගෙන යන්න දරුවන්ට පාසලට යන්න ලෙඩක් හැදුනම රෝහලට යන්න පාරක් විතරයි ඔවුන් ඉල්ලන්නේ.මේ පාර සංවර්ධනය කරා කියලා වනාන්තරයට කිසිම හානියක් වෙන්නෙ නැහැ.පිටදෙණිය හරහා මාර්ගය සංවර්ධනය කළොත් පමණයි මේ මිනිස්සු කියනවා වගේ හානියක් වනාන්තරයට සිදු වෙන්නේ.නමුත් යුධ හමුදාව සංවර්ධනය කිරීමට පටන් ගත්තේ දොඹගොඩ හරහා ඇති මාර්ගයයි.ඒ මාර්ගය සංවර්ධනය කරලා දෙනවා කියන්නේ වනාන්තරයට දැනට වෙන හානියත් අඩු වෙනවා කියන එකයි.ඒ නිසා අපි පරිසරවේදීන් කියාගත්තු ඊනීයාකාරයින්ටත් කොළඹ ඉඳන් ලංකාගම ගැන නිර්වචන දෙන මාධ්‍යවේදීන්ටත් කියනවා ලංකාගමට ඇවිත් වනාන්තරයට හානියක් වෙනවද කියලා හැබැහින් දැකලා තොරතුරු ප්‍රචාරය කරන්න කියලා”.

මෙම ගැටළුව පිළිබඳව අදහස් දක්වමින් ලංකාගම …. පැවසුවේ ” සමාජ මාධ්‍ය වල වීරයො වෙන්න දඟලන බොහෝ දෙනා ඇත්තටම පරිසරයට ආදරය කරන අයද කියලා හිතෙනවා අපිට.මිනිසුන් ගැන මානුශීයව හිතන්න බැරි මිනිස්සු කොහොමද පරිසරයට ආදරය කරන්නේ.ලංකාගම පාර ගැන කතා කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා.සිංහරාජය ගැන කතා කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා.හැබැයි ඔය කියන කිසිම කෙනෙක් මේ මිනිස්සුන්ට සතපහක උදව්වක් කරපු අය නෙවෙයි.සිංහරාජයේ ඇළි ටික බලන්න වනාන්තරය බලන්න ඇවිත් පොලිතින් ටික කෑම කොළ ටික හිස් බෝතල් ටික කැලේට වීසි කරලා ගියාම මේ ගම්වල මිනිස්සු තමයි ඒවා සුද්ද පවිත්‍ර කරලා වනාන්තරය රැකගන්නේ.එහෙම කරන අපිට කියනවා වනාන්තරය විනාශ කරනවලු.මේ ලංකාගම දෙනියාය මාර්ගය ගැන ගොඩක් අය ඉන්නේ වැරදි වැටහීමකින්.පිටදෙණිය හරහා ඇති අඩි දෙකක තුනක කුඩා පාර අඩි දොළහක් දක්වා වනාන්තරය මැදින් සංවර්ධනය කරනවා කියලා අසත්‍ය ප්‍රචාර ගෙනයනවා.නමුත් ඇත්තටම සංවර්ධනය කරන්නේ දොඹගොඩ හරහා ඇති අඩි දහයක පළලක් සහිත මාරගයයි.ඒ මාර්ගය සංවර්ධනය කරද්දි වනාන්තරයට කිසිම හානියක් වෙන්නේ නැ.වනාන්තරය විනාශ කරලා තමන්9පාරක් හදාගන්න තරම් මේ ගම්වල මිනිස්සු ආත්මාර්තකාමි නැහැ.පරිසරයට ආදරය ජරන පරිසරය රැකගන්න මිනිසුන් මෙහේ ඉන්නේ.ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මාර්ගය ගැන පළ වෙන අසත්‍ය ප්‍රචාර පිළිනොගෙන සත්‍ය සොයා බලා අපිට සධාරණය ඉටු කරන්න කියලා.අපි ඉල්ලන්නේ පාරක් විතරයි.අපිට ඒ පාර හදලා දෙන්න”.

දීර්ඝ කාලයක් සංකචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතුකල දෙනියාය,පංසල පාරේ ජීවත්වන වන පාලිත රත්නායකමහතා පැවසුවේ ” ” ලංකාගම ප්‍රදේශයේ ඉදිවන මාර්ගය නිසා පරිසර හානියක් සිදුවන බවට සමාජ මාධ්‍ය ජාලවන්හී පළවන ප්‍රවෘත්ති අසත්‍යයි.ලංකාගම සිට දොඹගොඩ හරහා මෙදේරිපිටිය මාර්ගයයි මේ සංවර්ධනය කිරීමට කටයුතු කරන්නේ.නමුත් ඇතැම් පරිසරවේදීන් සහ ඇතැම් මාධ්‍යවේදීන් පිටදෙණිය සිට සිංහරාජ පිවිසුම් මාර්ගය හරහා ඇති දැනට යතුරුපැදිවලට පමණක් ගමන් කළ හැකි මිනිසුන් පා ගමනින් යන මාර්ගය සංවර්ධනය කරනවා කියලා වැරදි වැටහීමක ඉන්නවා.නමුත් සංවර්ධනය කරනු ලබන්නේ දොඹගොඩ හරහා මාර්ගය මිස මේ පිටදෙණිය හරහා මාර්ගය නෙවෙයි.මේ මාර්ගය සංවර්ධනය කිරීමෙන් සිංහරාජ රක්ශිතයට හානි වන බවට සිදු කරන සියළු චෝදනා අසත්‍යයි.මොකද පිටදෙණිය හරහා යන මාර්ගයේ ගමන් කිරීමේ දී වාහන වලින් පිට වන දුම සහ ශබ්දය නිසා පරිසරයට හානි සිදු වෙනවා.මෙම දොඹගොඩ හරහා මාර්ගය සංවර්ධනය කිරීමෙන් ඒ සියළු හානි වළක්වා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.එබැවින් මේ මාර්ගය සංවර්ධනය කිරීමෙන් පරිසර හානිය වළක්වා ගනිමින් රක්ශිතය ද ආරක්ෂා කරගනිමින් ජනතාවගේ ගැටළුවටද විසඳුම් ලබා දීමට හැකියාවක් ලැබෙනවා”.

ඒ අනුව ගම්වාසීන් පවසන්නේ වනාන්තරයට හානියක් නොවන පරිදි මෙම මාර්ගය සංවර්ධනය කිරීමට හැකි බැවින් තමන්ට එම මාර්ගය සංවර්ධනය කර දෙන ලෙසයි.එමෙන්ම මෙම මාර්ගය සහ තම ගම්මානය පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යන්නන්ට වරක් හෝ තම ගමට පැමිණ තමන් විඳින් දුශ්කරතා පිළිබඳව සියැසින් දැක තොරතුරු ප්‍රචාරය කරන ලෙසද ගම්වාසීන් ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

රනිල් ප්‍රියංක – නෙළුව (රූපවාහිනියේ අමල් සමන්ත තැබූ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි )

ශ්‍රී ලාංකික ආහාර වේලක් පිළියෙළ කරන ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අර්බුදයකට මුහුණදී සිටී. පසුගිය සති අන්තයේදී අගමැතිවරයා කැන්බරාහි සිය නිවසේදී ශ්‍රී ලාංකික ක්‍රමයට පිසූ ගෝදම්බ රොටි සහ ව්‍යංජනයක් සමාජජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය.

අගමැතිවරයාගේ බිරිඳ වන ජෙනිෆර් සහ දියණිය වන ඇබී හා ලිලී රැඳී සිටින්නේ මෙල්බර්න් නුවරයි. කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මෙල්බර්න් අඟුළුදමා ඇති අතර ඔවුන් වෙනුවන් අගමැතිවරයා සෑම සති අන්තයකම විවිධ ක්‍රමවලට පිළියෙළ කළ ආහාර වර්ග සමාජජාල ඔස්සේ හුවමාරු කර ගනී. අගමැතිවරයා මෙවර සිය ශ්‍රී ලාංකික ආහාර වේල ප්‍රසිද්ධ කිරීමත් සමග බොහෝ පිරිස් එරට රැඳවුම් භාරයේ සිටින ශ්‍රී ලාංකික සිව්දෙනකුගෙන් යුත් පවුලට ඕස්ට්‍රේලියානු රජය දක්වන විරෝධය පිළිබඳ කරුණු ඉස්මතු කර ඇත. බොහෝ දෙනා අගමැතිවරයාට චෝදනා කර ඇත්තේ ඔහු ශ්‍රී ලාංකික ආහාර රස විඳින නමුත්, අදාළ සංක්‍රමණික ශ්‍රී ලාංකික පවුලට එම ආහාර රසවිඳීමේ අයිතිය ඕස්ට්‍රේලියානු රජය විසින් අහිමි කර ඇති බවයි.

ප්‍රියන හා නදීස් මුරුගප්පන් යුවල සහ ඔහුගේ දියණියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්තයේ බිලෝලා නගරයේ වාසය කළ අතර සංක්‍රමණික නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සංක්‍රමණික නිලධාරීන් ඔවුන්ව අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතේ රඳවා තබා ඇත. එරට වාමාංශික දේශපාලන ක්‍රියාකාරිනියක් හා Change org ආයතනයේ අධ්‍යක්ෂ සාලි රග්ස් ප්‍රකාශ කර ඇත්තේ අගමැතිවරයාගේ රජය මුරුගප්පන් පවුල අත්අඩංගුවට ගත් දිනයේ උදෑසන ඔවුන් සිව්දෙනා ආහාරයට ගනිමින් සිටියේ පරාටා සහ අදාළ මස් ව්‍යංජනය බවයි. එම ප්‍රකාශයට අනුව යමින් ඕස්ට්‍රේලියානු ජාතිකයන් විශාල සංඛ්‍යාවක්ද අදාළ ශ්‍රී ලාංකික පවුල නිදහස් නොකිරීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අගමැතිවරයාට දෝෂාරෝපණය කර ඇත.

කී‍්‍රම්ද... සබන්ද... ෂැම්පුද... නාන්න ගිය නිරූපිකාව මියගියේ කොහොමද....!
ගයාන් සමරසිංහ 23.08.2020
බොරලැස්ගමුව, වේරහැර පදිංචි වැලිකලගේ පවුලට 2000 වර්ෂයේ මැයි මස 02 වැනිදා ජීවිතයේ ඉතා වැදගත් දිනයක් විය. ඒ එදින එම පවුලට වාසනාව ගෙනා දියණිය මෙලොව එළිය දුටු නිසාය. එලෙස එළිය දුටු දියණියට වැලිකලගේ චමිදුකා කේෂරී යන නම ඔවුන් විසින් තබන ලදී.

මෙලොව එළිය දුටු දින සිටම කේෂරි පුංචි සුරංගනාවියක් බඳුවිය. සුරතල් කතාබහ, නිරතුරුව මුහුණේ රැඳී තිබූ සිනහව, කුඩාකල සිට වවා තිබූ දිගුවන් වරලස ඇයගේ සුන්දරත්වය තවත් ඔප් නැංවූවාය. බොහෝ අය පැවසුවේ එම ප‍්‍රදේශයේ එවැනි සුන්දර වාසනාවන්ත දැරියක නොසිටි බවයි. පුංචි කේෂරි කාලයත් සමග ලොකු මහත්වන්නට පටන් ගත්තාය.

නිසි වයස පැමිණීමත් සමග දෙමාපියෝ කේෂරීව කොළඹ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලකට ඇතුළත් කළහ. කුඩා කල සිටම ඉගෙනීමට මෙන්ම භාහිර කි‍්‍රයාකාරකම් වලටද ඇය දක්ෂ වූවාය. ඒ අතරින් ගායනයට සහ නර්තනයට ද ඇය සුවිශේෂි දක්ෂතාවක් පෙන්නුවාය. මෙම සුවිශේෂී දස්කම් සහ හැකියාවන් නිසා ඇය පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූවාය. එම නිසා කේෂරිට පාසලේදී ලැබුණු ජනප‍්‍රියත්ත්වය කොතරම්ද කිවහොත් බොහෝ අය ඇයව හැඳින්වූයේ කේශූ යන අන්වර්ථ නාමයෙනි.

සුපුරුදු පරිදි කාලය ගෙවී ගියේය. කේශු ද ඒ සමානව උස් මහත් විය. එමනිසා පාසල් ජීවිතයෙන් සමුගැනීමටද කාලය එලැඹුණි. සරසවි වරම් ලබා ගැනීමට නොහැකි වුවත් උසස් පෙළ ඇය සමත්වී තිබුණි.

පාසලෙන් පිටවුණ ඇය දැන් තාරුණ්‍යයේ පසුවන යෞවනියකි. ලස්සන රූපයක් මෙන්ම සුන්දර සිරුරක් ද ඇයට හිමිය. එම නිසා ඇය දුටුවන් වශීකරවන සුළු පෙනුමකින් යුක්තය.

‘‘පාසල් අධ්‍යාපනයෙන් පසුව ජීවිතයේ ඉදිරියට කරන්නේ කුමක්ද?’’ පාසලෙන් පිටවී දින කිහිපයකට පසු දෙමාපියෝ ඇයගෙන් විමසූහ.

‘‘මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පයේ නිරත වනවා.’’ එලෙස තම අනාගත බලාපොරොත්තු ගැන ඇය නොබියව තම දෙමාපියන්ට පැවසුවාය. දෙමාපියන් ඇයගේ බසට එක්වරම අවනත වුණි. ඒ කිසි දිනක ඇය වැරදි තීරණයක් නොගන්නා බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.

කේශුගේ සුන්දරත්වය නිසා බොහෝ අය පැවසුවේ කවදා හෝ ඇය මෙරට ප‍්‍රසිද්ධ නිළියක් වන බවයි. එමනිසා උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පයේ නිරතවන්න දෙමාපියන් ඇයට අවසර දෙන්නට ඇත්තේ ඒ ගැනද බලාපොරොත්තුවක් තබාගෙන වන්නට පුළුවන.

ඒ සමග ඇය පිළියන්දල ප‍්‍රදේශයේ පෞද්ගලික සරසවියක උසස් අධ්‍යාපනය හදාරන අතර නිරූපණ ශිල්පිනිියක ලෙසද වැඩ කටයුතු කළාය.

අන් තරුණියන් මෙන් නොව උප්පත්තියෙන්ම ලද සුන්දරත්වයක් ඇයට තිබුණි. එයින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ඇයට හැකි වූවාය. එමනිසා නවකයකු වුවත් නිරූපණ ශිල්පිනියක ලෙස ඉදිරියට යෑමට සහ ජනප‍්‍රිය වීමට ඇයට ගතවූයේ ඉතා සුළු කාලයකි.

කෙටිකලක් තුළ ජනප‍්‍රිය වුවත් ඇය ඉතා නිහතමානී තරුණියක වූවාය. එම නිහතමානී කම නිසාමදෝ කොහෙද මෙම ක්‍ෂේත‍්‍රයේ සිටින සැවොම පාහේ ඇයට විශේෂ ලෙන්ගතුකමක් දැක්වූහ.

කේෂාරි නොහොත් කේශු 2018 වර්ෂයේදී තරුණ රූප සුන්දරිය තේරීමේ තරගාවලියකට සහාභාගි වූවාය. එහිදී රූප සුන්දරිය ලෙස අභිශේක ලැබුවේ ඇයයි. එම ජයග‍්‍රහණයත් සමග ඇය එම ක්‍ෂේත‍්‍රයේ තවත් ජනප‍්‍රිය තාරකාවක් වූවාය. එම ජනප‍්‍රියතාව කොතරම්ද කිවහොත් ඒ දිනවල සමහර පුවත්පත්වල මුල් පිටුව පවා සැරසුණේ ඇයගේ රුවින්ය.

පසුගිය වසරේ පැවති ‘‘මිස් ශ‍්‍රී ලංකා තරගාවලියේදී අවසන් පස් දෙනා අතරට ඒමට මෙම නවක නිරූපණ ශිල්පිනියට හැකි වූවාය. එයට අමතරව ඉදිරිපත්වූ තවත් රූප රාජිණි තරග රැසකින් ඇය ජයග‍්‍රහණය ලබා තිබුණි. අඩු වයසින් මෙතරම් දුරක් පැමිණි ඇයට තව නොබෝ කලකින්ම මෙම ක්‍ෂේත‍්‍රය ඔස්සේ ජාත්‍යන්තරය පවා ජය ගැනීමට හැකිවනු ඇතැයි බොහෝ අය අනාවැකි පළ කළහ.

ඒ කාලය අතරතුර නිරූපණ ශිල්පයට අමතරව ඇය අධ්‍යාපන කටයුතුද ඉතා සාර්ථක ලෙස කරගෙන ගියාය.

පෞද්ගලික ජීවිතයේදී ඇය නිවසට අමතරව තම වැඩිමහල් සහෝදරියගේ නිවසේ රැඳී සිටීමටද කැමැත්තක් දැක්වූවාය. ලද සෑම මොහොතකම ඇය කාලය ගත කළේ එම සහෝදරියගේ නිවසේය. එම නිවස පිහිටා තිබුණේ බොරලැස්ගමුව, සල්ගහවත්ත, සිසිල පටුමග ප‍්‍රදේශයේය.

දිනය පසුගිය 15 වැනිදාය. එදින කේශු තම දෙමාපියන්ගෙන් සමුගෙන සහෝදරියගේ නිවසට පැමිණියාය. ඒ දින කිහිපයක් එහි නැවතී සිටීමටයි. සහෝදරියගේ නිවසට පැමිණි කේශු පැය ගණනක් ඇය සමග ආගිය තොරතුරු කථා බස් කළාය.

වේලාව මධ්‍යහ්නය පසුවී තිබුණි. කේශුට ස්නානය කිරීමට අවශ්‍ය වූවාය. ඇය ඒ බව තම සහෝදරියට මෙලෙස පැවසුවාය.

‘‘අක්කේ මාර රස්නෙයි හලෝ. මම ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නද?’’

‘‘මොකක් කිවුවේ. ඔයා ඉක්මනට වොෂ් දාගෙන එන්න. කවද ඉඳන්ද එහෙම කරන්න ගත්තේ.’’

‘‘නැහැ නැහැ මම ඉක්මනට එන්නම්.’’

‘‘අනේ යන්න නංගී. ඔයා අඩුගානේ පැයක්වත් ඉන්නවා බාත් රූම් එකේ. අපි නොදන්නවයැයි ඒක.’’

‘‘වොෂ් එකක් දානකොට හරියට දාන්න ඕනා. මොකද අපි ස්කීන් එක පරිස්සම් කර ගන්න ඕනා. ’’

‘‘මම විහිළුවක් කළේ. ඔයා ඕන තරම් බාත් රූම් එකේ ඉඳලා එන්න.’’

ඒ අනුව කේශු ස්නානය කිරීම සඳහා නාන කාමරයට ගියාය. ඇයට පෙර සහෝදරියගේ එකොළොස් හැවිරිදි දරුවාද ස්නානය කර තිබුණි.

ඇඳුම් උණා නා ගත් ඇය යම්කිසි ආලේපණ වර්ගයක්ද ශරීරයේ තවරා ගත්තාය. ඉන් පසු සිසිල් වතුරෙන් සහ උණු වතුරෙන් සිත්සේ ඇය ශරීරය සෝදා ගත්තාය.

නාන කාමරයෙන් එළියට පැමිණි පසු වෙනදා මෙන් නොව උගුර කසනවාත් සමග හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇයට දැණුනි. ඇය මඳ වෙලාවක් එය ඉවසාගෙන සිටියාය. ඒ දැන් එය අඩුවෙතැයි සිතාය. එහෙත් අඩුවන පාටක් නොපෙණුනි.

ඒ අතර කාලය තුළ කේශුට පෙර ස්නානය කළ ඇයගේ සහෝදරියගේ පුතාටද යම්කිසි අපහසුතාවක් දැණුනි. ඔහු වහාම එය තම මවට පැවසුවේය. ඇය කලබල වී කේශුට කථා කළාය. ඒ තම පුතාගේ අසනීපය ගැන පැවසීමටයි. එවිට කේශු සිටියේ මහත් බියකින් සහ අමාරුවකිනි. තම සහෝදරියගේ කටහඬට ඇය ඉතා අමාරුවෙන් ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසින්ය.

‘‘අක්කේ මටත් අමාරුයි....’’

කේශුගේ සහෝදරියට කුමක් හෝ සිදුවී ඇතැයි ඉවෙන් මෙන් දැණුනි. ඒ මොහොතේ නිවසේ වෙනත් කිසිවකුද සිටියේ නැත. වහාම ඇය ත‍්‍රිරෝද රථයක් නවතා තම සහෝදරිය සහ පුතාව වේරහැර තිබූ රෝහලකට රැගෙන ගියාය.

රෝගීන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබා දුන්නහ. එම ප‍්‍රතිකාර වලින් කේශුගේ සහෝදරියගේ පුතා සුව අතට හැරුණු අතර කේශුගේ තත්ත්වය බරපතළ අතට හැරුණි.

දැඩි සත්කාර ඒකකයේ සිටි කේශුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු දැඩි උත්සාහයක නිරත වූහ. එහෙත් පලක් වූයේ නැත. ඒ වනවිටත් ඇය සියලූ දේම අතහැර දමා මරු තුරුළට ගොස් තිබුණි.

පසුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීහු කේෂරී සහ එම දරුවා භාවිත කළ ආලේපණ වර්ග සහ ජලය සාම්පල් පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක නිලධාරියා වෙත යවා තිබුණි. මෙම ලිපිය ලියන මොහොත වනවිටත් එහි වාර්තාව ලැබී නොතිබුණි.

එම නිසා නිරූපණ ශිල්පිණියක් ලෙසින් ජාත්‍යන්තරය පවා ජය ගැනීමට බලා සිටි වැලිකලගේ චමිදුකා කේෂරී අබිරහස් ලෙස මිය ගියේ ඇය භාවිත කළ ජලය, ආලේපන සහ සබන් යන කුමක් විෂ වීමෙන්ද යන්න තවමත් ගැටලූවකි.

දිවියන්ට උගුල් අටවන කිසිවෙකුට මින්පසු කිසිදු සමාවක් නොදෙන බවත්, මුවන් ගෝනුන් දඩයම් කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහයේ උපරිම දඩය ලබාදෙන බවත් වනජීවී ඇමති ආර්. එම්. සී. බී රත්නායක මහතා ප්‍රකාශ කළේය.