විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම මුදල් අමාත්‍යාංශයේ පැවති අවස්ථාවේ අගමැතිතුමා මේ බව සඳහන් කර ඇත.
 
ණය ගෙවා ගැනීමට අපහසු හා අලුතින් ණය ලබා ගැනීමට පැමිණෙන ජනතාව බැංකු තුළ අනවශ්‍ය ලෙස අපහසුතාවයට ලක් නොකරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කර ඇත..

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) දත්ත පරීක්ෂා කිරීමේ කාර්යය තුළ මහජනතාවට සිදු වන අපහසුතාවන් පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මෙහිදී අවධානය යොමු කර ඇත. ණය නොගෙවූ පුද්ගලයෙකුගේ, ඇපකරුවෙකු වූ පමණින් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)  නම ඇතුළත් වීම නිසා ණයක් ලබා ගැනීමට එම පුද්ගලයා නුසුදුස්සෙකු කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා සුදුසු සහන ක්‍රමවේදයන් පිළිපදින්නැයි උපදෙස් ලබාදී ඇත.

පසුගිය රජය සමෘද්ධි ලබාදීමේදී පාක්ෂිකයින්ට විශේෂිත කොට එම ආධාර පිරිනමනා ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබඳව සොයා බලා දේශපාලන භේදයකින් තොරව අඩු ආදායම්ලාභී සියලුම පවුල් සඳහා සමෘද්ධි ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් ලබාදී ඇත.

සෞභාග්ය යේ දැක්ම යටතේ “සපිරි ගමක්“ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 28ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14021 ක් සඳහා රුපියල් මිලියන 2 බැගින් බෙදා දීමට නියමිතය. 

ඒ අනුව අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ග්‍රාමීය ප්‍රජා කමිටු විසින් තෝරා ගත් පහත ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
1. ග්‍රාමීයමාර්ග, පඩි, බොක්කු, කුඩා පාළම්, පැති කානු සංවර්ධනය
2. කෘෂි කාර්මික නිෂ්පාදන සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සංවර්ධනය
3. ග්‍රාමීය මට්ටමේ ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, වෙළඳපොළ ස්ථාන සංවර්ධනය
4. කුඩා වැව්, ඇළ මාර්ග, අමුණු, පොකුණු, කෘෂිකාර්මික ළිං ප්‍රතිසංස්කරණය
5. ප්‍රජා පානීය ජල සම්පාදන ව්‍යාපෘති
6. ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන නවීකරණය හා වැඩි දියුණු කිරීම
7. පාසල් සඳහා විදුලිය, ජලය සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම
8. වන සතුන්ගෙන් මිනිස් වාසස්ථානවලට සිදු වන අනතුරු ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා වන ව්‍යාපෘති.

 

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන අටක පොලිස් නිලධාරින් අද (09) දින හැටන් දික්ඔය නගර සභා ශාලාවේදි පි.සි.ආර් පරික්ෂණයට ලක් කොට තිබෙනවා. නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලයේ වසංගත රෝග අංශයෙන් මෙම පි.සි.ආර් පරික්ෂණය සිදු කරන ලදි.

හැටන් පොලිස් කොට්ඨාශයට අයත් හැටන්, වටවල, ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ්, නල්ලතන්නිය, මස්කෙලිය, නොර්වුඩ්, බගවන්තලාව යන පොලිස් ස්ථාන වල නිලධාරින් ඔහුන්ගේ රාජකාරි වලට බාධාවක් නොවන අයුරින් මෙම පි.සි.ආර් පරීක්ෂණ සදහා යොමු කෙරුණා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යයාලය මගින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර ආශ්‍රිත ස්ථාන කිහිපයකම රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල සේවය කරන සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් පි.සි.ආර් පරික්ෂණයට මේ වන විට භාජනය කර ඇත.

අටලුගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර ප්‍රදේශවාසීන් විසින් පොලිස් නිළධාරින් හට පහර දී තිබෙනවා අදාල ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන ඒමේ දී එම පොලිස් නිලධාරීන් පිරිස වටකර පහර දීමෙන් මෙම උණුසුම් තත්වය ඇතිවී තිබේ.

පහරදීමෙන් නිළධාරින් සිව් දෙනෙකුට තුවාල සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි

ගිනි ගැනීමට ලක්වු “MT New Diamond“ඉන්ධන නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු නෞකාවට ඇතුළු වී ඇති බව නාවික හමුදාව පවසයි.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවත් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය වී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, නාවික සැතපුම් දෙකක පමණ ප්‍රදේශයක එම ඉන්ධන පැල්ලම විහිදී ඇති බවය.

ඊයේ දිනයේ ද නෞකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඩීසල් පැල්ලමක් නිරීක්ෂණය වී තිබූ අතර විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමෙන් ඉන් සාගර පරිසරයට විය හැකිව තිබූ බලපෑම අවම කිරීමට පියවර ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

කෙසේවෙතත් නිරීක්ෂණය වී ඇති මෙම ඉන්ධන පැල්ලම් ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන නොවන අතර නෞකාව යාත්‍රාකිරීමේ දී යොදාගනු ලබන ඩීසල් ඉන්ධන විය හැකි බවට වාර්තා වේ.

මේ පිළිබඳව සොයාබැලීම සඳහා කිමිදුම්කරුවන් යොදා ගනිමින් පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේය.

අද අලුයම වන විට නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීමට ආපදා කලමනාකරණ කණ්ඩායම් සමත්ව තිබු අතර නෞකාව මේ වන විට සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 41ක් දුරින් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් තිබේ.

 

ගිනි ගැනීමට ලක්වූ MT New Diamond නෞකාවේ ඉන්ධන පිටවන්නේ කෙසේද යන්න සොයා බැලීම සහ ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිමට නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් යොමු කළ බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කර සිටිනවා. 

මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ නෞකාවට වී ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නෞකාවේ ගැලවුම්කාර සමාගමේ නියෝජිතයින් තිදෙනෙකු අද එම නෞකාවට ගොඩවූ බවයි.

අම්පාර, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 30ක් දුරින් ඊයේ දිනයේදී පැවති නෞකාව ඒකාබද්ධ ආපදා කළමනාකරණ මෙහෙයුම් කණ්ඩායම් විසින් අද වන විට නාවික සැතපුම් 40ක් දක්වා දුරකට රැගෙන යාමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර නෞකාවේ සිට කිලෝමීටරයක් දුරින් වූ ප්‍රදේශයේ ඩීසල් ඉන්ධන පැල්ලමක් නිරීක්ෂණය කර ඇති අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක බලකායේ ඩ්‍රෝනීය ගුවන් යානා මගින් විශේෂ රසායනික ද්‍රව්‍යයක් ඉසිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ආපදාවට පත් නෞකාවේ බොරතෙල් තෙල් සංචිතයන්ට ගින්න පැතිරයාමේ හෝ නෞකාවෙන් සාගරයට බොරතෙල් කාන්දුවීමේ කිසිදු අවදානමක් මේවන තෙක් පැන නැගී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

MT New Diamond නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් සාගර පරිසරයට සිදුවූ බලපෑම තක්සේරු කිරීම සඳහා ආපදාවට පත් නෞකාව රඳවා ඇති මුහුදු ප්‍රදේශයේ ජල නියැදි පරීක්‍ෂා කිරීමට අද උදෑසන පරීක්‍ෂණ කණ්ඩායමක් පිටත්ව ගොස් ඇති අතර එම කණ්ඩායම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA), ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හා රුහුණු විශ්ව විද්‍යාලයට අයත් පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් සමන්විතවනවා.

ඔවුන් එම මුහුදු ප්‍රදේශය වෙත ගොස් අදාල නියැදීන් ලබාගැනීමෙන් පසු රසායනාගාර පරීක්‍ෂණ කටයුතු සඳහා එම නියැදීන් ගොඩබිමට රැගෙන ඒමට නියමිත අතර ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයට (NARA) අයත් සමුද්‍රීය පර්යේෂණ නෞකාවක් අද දින එම මුහුදු ප්‍රදේශය වෙත ලඟාවී වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමටද නියමිත බවයි නාවික හමුදාව සඳහන් කළේ